මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ජනපති ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 10 දින

    ඔක්තෝබර් 08, 2019

    ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් අපේ මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.

    මෙවර පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,  අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් මස 10 වනදා පෙරවරු 10.00 ට කොළඹ කොටුවේ පිහිටි, ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

    “පරිසරය අප රකියි - රකිමු අප පරිසරය” යන තේමාව යටතේ පරිසරයට ආදරය කරන, පරිසරය රැකීමට දැනුම්වත් භාවයෙන් උරදෙන හා සමාජයට මාර්ගෝපදේශකත්වය සපයන සැබෑම පරිසර හිතකාමියෙකු බිහිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 1984 වර්ෂයේදී කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. එම සමාරම්භක පියවර අදවන විට පියවරෙන් පියවර වර්ධනය වෙමින් මෙරට පාසල් දහස් ගණනක් පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

    ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ පදක්කම් 05 ක් ලබා ගැනීම සඳහා පරිසර කඩඉම් ක්‍රියාත්මක වේ. පරිසර නියමු, හරිත, රජත, ස්වර්ණ වර්ණ හා ජනාධිපති පදක්කම වශයෙනි. 9 වන වරට පැවැත්වෙන 2019 පදක්කම් ප්‍රදානය සඳහා මොණරාගල, කලුතර, කුරුණෑගල, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, හම්බන්තොට, වව්නියාව, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, කෑගල්ල හා මාතලේ යන දිස්ත්‍රික්ක 15 නියෝජනය කරමින් පාසල් 41 ක පරිසර නියමුවන් 99ක් මෙවර ජනාධිපති පදක්කම ලබාගැනීමට සුදුසුකම් ලබා සිටි.

    මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙන පූර්ණ සහයෝගය යටතේ ස්වේච්ඡා පදනමින් ක්‍රියාකාරිව සිටින පරිසර නියමු ගුරුවරු, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරු, කොමසාරිස්වරු හා පරිසර නියමු සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් ව්‍යුහගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල යටතේ සේවය කරන ප්‍රාදේශිය පරිසර නිලධාරීන් විසින් පාසල් පද්ධතිය සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ජාතික පරිසර නියමු වැඩසටහනේ අධීක්ෂණ කටයුතු කරනු ලබයි. 6 වන ශ්‍රේණියේ සිට ආරම්භ වන මෙම වැඩසටහනේ දිගු හා සැලසුම් සහගත ක්‍රියාදාමයක් ඔස්සේ ජනාධිපති පරිසර නියමු පදක්කමක් ලබාගන්නා නියමුවන්ගේ සුවිශේෂි පාරිසරික දැනුමක් සමඟ පරිසරයට සංවේදී පුරවැසියෙක් බිහිවීමට අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ලැබීම සුවිශේෂී අත්දැකීමක් වේ.

     

    මීට අමතරව ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබු යම් පරිසර නියමුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී, විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙනම ලකුණු 04 ක් හිමි වීම ද ඉතා වටිනා, දුර්ලභ අවස්ථාවකි.  පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් මෙම වැඩසටහන සඳහා සුවිශේෂී මාර්ගෝපදේශකත්වයන් ලබාදෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක පුනරුදය වැඩසටහන මගින් පරිසර නියමු වැඩසටහනේ 5 අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය ද කරනු ලබයි. මෙම වැඩසටහනට අත්‍යවශ්‍ය පදක්කම්, නිල ඇදුම් , හිස්වැසුම්, ගුරු අත්පොත්, ක්ෂේත්‍ර සටහන් පොත් ආදී වශයෙන් මූලික අවශ්‍යතා සඳහා මෙන්ම දේශීය හා විදේශීය වශයෙන් ලබාදෙන පාරිසරික සංචාර සඳහා ද අරමුදල් සැපයීම සිදුවේ.
    අපේ මාතෘ භූමියේ හෙට දවසේ බිහිවන පුරවැසියා පරිසර හිතකාමී චර්යාත්මක ජීවිතයට හුරු පුරුදු කරලීම සඳහා පරිසර නියමු වැඩසටහන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya