අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරුදින ප්‍රහාර සෘජුවම හෙළා දකිමින් විවිධාකාරයෙන් රජයට උපකාර කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර ප්‍රජාවට විදේශ ලේකම් ස්තූතිය පුද කරයි

    ඔක්තෝබර් 03, 2019

    මාධ්‍ය නිවේදනය

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය තහවුරු කර ගැනීම සඳහා ප්‍රායෝගික සහය අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව කියා සිටියි

    එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ 74 වැනි සැසි වාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් ප්‍රධානී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මෙම මහා සම්මේලනයට සමගාමීව, මෙම සතියේ දී, ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කර්යාලයේ (OCT) උප මහ ලේකම් ව්ලැඩිමීර් වොරොන්කෝව් මහතා සහ ඔහුගේ කණ්ඩායම ද, සහකාර මහ ලේකම් (ASG) සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ (CTED) විධායක අධ්‍යක්ෂිකා මිෂෙල් කොනින්ස්ක්ස් මහත්මිය ද හමු විය.

    එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න තානාපතිතුමිය සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු විදේශ ලේකම්වරයා සමඟ වූහ.

    පාස්කු ඉරුදින ප්‍රහාර සෘජුවම හෙළා දකිමින් විවිධාකාරයෙන් රජයට උපකාර කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර ප්‍රජාවට විදේශ ලේකම්වරයා ස්තූතිය පුද කළේය. සහකාර මහ ලේකම් සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ (CTED) විධායක අධ්‍යක්ෂිකා මිචෙල් කොනින්ස්ක්ස් මහත්මිය නොබෝදා නිරත වූ සංචාරය මඟින්, ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඩපැවැත්වීම සඳහා දේශීය වශයෙන් යොදන ප්‍රයත්න ශක්තිමත් කිරීමේ දී ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් වෙත ලඟාවීමට ඉඩ ප්‍රස්ථාවක් උදා කර දෙන ලද බව ඔහු විශේෂයෙන් සඳහන් කළේය.

    එක්සත් රාජධානියේ, යුරෝපා සංගමයේ, එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ අමාත්‍යවරු සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ සම්බන්ධීකාරකවරුන් කිහිප දෙනෙක් මෙන්ම ගෝලීය ප්‍රජා කටයුතු හා යථා තත්ත්වයට පැමිණවීමේ අරමුදලේ (GCERF) විශේෂඥයෙකු නොබෝදා නියැලුණු සංචාර පිළිබඳව විදේශ ලේකම්වරයා වොරොන්කෝව් මහතාට කරුණු පැහැදිලි කළේය. ගෝලීය ප්‍රජා කටයුතු හා යථා තත්ත්වයට පැමිණවීමේ අරමුදලේ (GCERF) විශේෂඥයාගේ සංචාරයෙන් අනතුරුව වහාම අවධානය යොමු කළ යුතු බවට හදුනාගත් ක්ෂේත්‍ර අතරට ප්‍රජා රැකවල් යෙදීම, සමාජ සහජීවනය සඳහා තරුණ තරුණියන් යොදවා ගැනීම, සමාජ මාධ්‍ය නිරීක්ෂණය, බහුලව ගොදුරුවිය හැකි ප්‍රජා හා ප්‍රතිරැඩිකලීකරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන කටයුතු අයත් විය.

    දේශ සීමා කළමනාකරණය, මගී තොරතුරු කළින් ලබා ගැනීම (API) සහ මගී නාම වාර්තා (PNR) පවත්වා ගැනීම ශක්තිමත් කිරීම වෙනුවෙන් කර ඇති කාර්යය වොරොන්කෝව් උප මහ ලේකම්වරයා අවධානයට ලක් කළේය. මේ සම්බන්ධයෙන්, කල් ඇතිව මගී තොරතුරු ලබා ගැනීම (API) සහ මගී නාම වාර්තා පවත්වා ගැනීම (PNR) සමෝධානය කිරීම සඳහා ඉදිරි ප්‍රයත්නවලදී සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඩපැවැත්වීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබා දීමට සූදානම්ව සිටින බව ඔහු ප්‍රකාශ කළේය. නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ නියැලෙන සංචාරයකදී ඔහුගේ කාර්යාලය ප්‍රමුඛතාව ලබා දී ඇති කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ කටයුතු සම්බන්ධීකරණය කරන බවට තහවුරු කළේය.

    ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටු විධායක අධ්‍යක්ෂක මණ්ඩලය හා ශ්‍රී ලංකාව, සමීපව කටයුතුකරමින් සහයෝගීතාවයේ ඉහළ මට්ටමක් කරා ළගාවීම පිළිබඳව සහකාර මහ ලේකම් කොනින්ක්ස් මහත්මිය සතුට පළ කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඇති කර ගැනීම සඳහා රාමු ගත වැඩ පිළිවෙලක් සකසමින් සිටින බවද එතුමිය ප්‍රකාශ කළාය. විදේශීය ත්‍රස්ත සටන්වාදීන් ආපසු පැමිණිම සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඩපැවැත්වීම මෙන්ම දේශ සීමා ආරක්ෂාව පිළිබඳව අදාළ ආරක්ෂක මණ්ඩල යෝජනාවලි යටතේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාවට උපකාරීවන පියවර මීට ඇතුළත් වනු ඇත.

    අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රජයේ සමස්ත ප්‍රවේශයක් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින බවත් එම සහය ලබා දීමේ වැඩසටහන් ප්‍රායෝගික වන හෙයින් හා ශ්‍රී ලංකාවේ සැලසුම් තුළ සමෝධානය කළ හැකි හෙයින් එය ඉතා වැදගත් වන බවත් ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්, රටේ අභිලාෂයන් සපුරාලන ප්‍රයෝගික ක්‍රියාමාර්ග හදුනාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සහකාර මහලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා එකඟතාවය පළ කළහ.

    ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOCT), මහා සම්මේලන යෝජනාවලි අංක 71/291 සම්මත කිරීම තුළින් 2017 ජුනි 15 වැනි දින ස්ථාපනය කරන ලදී. එය ස්ථාපනය කරන ලද්දේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය සම්බන්ධීකරණ ගිවිසුම් (කලින් CTITF) කාර්ය සාධන බලකා 38 අතර සම්බන්ධීකරණය සහ සුසංයෝගය වැඩිදියුණු කිරීම සඳහා, සාමාජික රටවල් සඳහා ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ධාරිතා සංවර්ධන සහය ශක්තිමත් කිරීම සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රයත්න සඳහා දෘශ්‍යතාවය, පක්ෂව කතා කිරීම සහ සම්පත් ඒකරාශී කිරීම වැඩිදියුණු කිරීම සඳහා ය.

    ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටුවට (CTC) සහය වීම සඳහා වූ විශේෂ දේශපාලන දූත කාර්යාලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ස්ථාපනය කරන ලද්දක් වන අතර ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ කමිටුවේ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම, සාමාජික රටවල විශේෂඥ තක්සේරු සිදු කිරීම සහ රටවලට ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ තාක්ෂණික සහය සැලසීම එය වෙත පැවරී තිබේ.

    එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

    නිව්යෝර්ක් නුවර

    2019 ඔක්තෝබර් 02 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya