මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අගමැතිතුමන්ගේ අප්‍රතිහත මගපෙන්වීම සහ සහයෝගය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට අපට හැකිවුණා” - අධ්‍යාපන අමාත්‍ය

    සැප්තැම්බර් 14, 2019

    පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේ මෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. දිවයින පුරා එකම දිනක පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදු කර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්, එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය එහි තවත් සාර්ථක ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවර සිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක් සිදුකර තිබේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතු සිදුකෙරෙයි. මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි.

    දැනට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරි වසර 10 ක් පවත්වාගෙන යා හැකි නම් නිසැක ව ම රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත වන බව ද, එම අභියෝගය භාර ගනිමින්, අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ඉතා සාර්ථක ව කටයුතු කරගෙන යාමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දරන උත්සාහය හා කැපවීම අතිශයින් අගය කරන බව ද මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතිය භෞතික සම්පත්වලින් සම්පූර්ණ කිරීම මෙන් ම මානව සම්පත්වලින් සංවර්ධනය කිරීමට ද වැඩිම අවධානය යොමු කරන ලද්දේ වත්මන් රජය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියාසිටියේය.

    ඉදිරියේ දී රටේ සෑම පාසලක ම සිටිය යුත්තේ, පුහුණු ගුරුවරුන් පමණක් බව ද, වාහනයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවක් වන පරිද්දෙන් ම වසර 13ක් පන්ති කාමරය භාරගන්නා ගුරුවරයා පුහුණුවක් සහිත ගුරුවරයෙක් වීම අත්‍යවශ්‍ය වන බව ද ඒ වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. එමෙන් ම 21 වැනි සියවසේ දරුවන්ට 20 වැනි සියවසේ අධ්‍යාපනය නොගැළපෙන බවත්, මේ නිසා අනාගත රැකියා වෙළඳපොළ අවශ්‍යතා සමඟ ගළපමින් අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අග්‍රමාත්‍යතුමන් තවදුරටත් කියා සිටියේ ය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නිහාල් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, හිටපු තරුණ සේවා සභාවේ සභාපති,අධ්‍යක්ෂ ජනරාල්, හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.‍

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya