අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    සැප්තැම්බර් 12, 2019

    ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනමි කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

    ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ  (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මෙම කමිටු රැස්වීමකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගතයුතු තීන්දු තීරණ කිසිසේත් ප්‍රමාද නොකළ යුතු අතර ඒ වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ එම මොහොතේදී ම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බවයි.

    පසුගිය අප්‍රේල් 21 වනදා රටට මුහුණදීමට සිදුවූ ආකාරයේ අභාග්‍යසම්පන්න සිදුවීමක් යළි රට තුළ ඇතිවීමට ඉඩ නොතැබීමට සියලු වගකිව යුතු පාර්ශ්වයන්ගේ කැපවීම ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බවයි. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම සලකා බලමින් සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබඳව ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් යෝජනාවලියක් සකස් කර භාරදී තිබෙන අතර එම කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනමින් අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති සම්පාදනය පිළිබඳ සොයා බැලීමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

    ජාතික ආරක්ෂාව ප්‍රධාන තේමාව කර ගනිමින් ආගමන හා විගමන කටයුතු, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, වෙබ් ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර, සයිබර් ආරක්ෂාව, අධ්‍යාපන ක්‍රමය ආදි පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිද යන ප්‍රධාන අංශ 15ක් යටතේ කරුණු සොයා බැලීම මෙහිදී සිදු කෙරෙන අතර එම වාර්තාව නුදුරේ දී ම පාර්ලිමේන්තුව වෙත භාරදීමට නියමිත ය.

    මෙම කමිටුවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් දරනු ලබයි.

    කථානායක කරූ ජයසුරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, අජිත් පී. පෙරේරා, ආශු මාරසිංහ යන මහත්වරුන් ද ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya