අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බුද්ධශාසනයේ සුරක්ෂාව උදෙසා තෙවැදෑරුම් වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 11, 2019

    ශ්‍රි ලංකාවේ බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනූව තෙවැදෑරුම් වැඩපිළිවෙලක් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

    මේ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද ( 11 ) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු මහා ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

    මේ සදහා අමාත්‍යංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරී මඩුල්ලක්ද සහභාගී විය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කර සිටියේ, පැවිදි පාර්ශවයක් නොමැතිව රටෙහි ශාසනයක් ආරක්ෂා නොවන හෙයින් බුදු දහම චිරාත් කාලයක් සුරැකීමට නම් ධර්මධර, විනයධර බුද්ධ පුත්‍රයින් වහන්සේලා රැකගැනීම ගිහි අපගේ පරම යුතුකම බවයි. වසරකට අප රට තුළ ස්වාමීන් වහන්සේලා 1000 ක් පමණ සිවුරු හැරයාම වර්තමානයේ විශාල ගැටලුවක් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මේ සදහා විවිධ හේතු බලපානා බවයි. එනම් එම ස්වාමීන් වහන්සේලාගේ මාපියන්ට ඇති ආර්ථික දුෂ්කරතා, රෝග හේතුවෙන් දෙමාපියන් දුබල වීම, එම තත්ත්ව හමුවේ දෙමාපියන් අසරණ වන විට ඔවුන් රැකබලා ගැනීමට ස්වාමීන් වහන්සේලාට උපැවිදි වීමට සිදුවේ. තවද ස්වාමීන් වහන්සේලාට ඇතිවන ලෙඩරෝග සහ සෞඛ්‍ය ගැටලුද මෙම තත්ත්වයන්ට හේතුවේ.


    මෙම දුෂ්කරතා හදුනාගත් බුද්ධශාසන අමාත්‍යංශය ඊට විසදුමක් ලෙස මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට ඉදිරිපත් විය. එනම් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා වැඩසටහන, භික්ෂූන් වහන්සේලාගේ මවුපියන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක බුදුපුත් මවුපිය සුරක්ෂා වැඩසටහන හා නොදියුණු දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සදහා ක්‍රියාත්මක
    බොදු අරම සුරක්ෂා යන වැඩසටහන් ත්‍රිත්වයයි.

    සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවන් හා මුර දේවතාවුන් වන මෙරට භික්ෂූ පරපුරෙහි පැවැත්ම සදහා අවැසි වන භික්ෂූ සුබසාධන රක්ෂණ වැඩපිළිවෙලක් බුදුපුත් සුරක්ෂා නමින් බුද්ධශාසන අමාත්‍යංශය යටතේ ඇති බුද්ධශාසන අරමුදල මගින් 2019 ජුනි මස සිට ස්ථාපනය කර ඇත. මේ සදහා මිලියන 600ක මුදලක් බුද්ධශාසන අමාත්‍යංශ අරමුදල මගින් වෙන්කර ඇති අතර මෙම රක්ෂණයේ ප්‍රතිලාභීන් ලෙස කහ සිවුරු දරණ වනවාසී භික්ෂූන් වහන්සේලාද ඇතුළුව ලංකාවේ පදිංචි වෙනත් රාජ්‍ය අනුග්‍රහපිත රක්ෂණ ක්‍රමයකට ඇතුළත් නොවූ සියලු භික්ෂූන්මේ යටතට ඇතුළත් වේ. එමෙන්ම තැපැල් කන්තෝරු හරහා දෛනික බෙහෙත් ගැනීමේ සහතිකය ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට ඉදිරිපත් කිරීම මගින් භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාගැනීමේ පහසුකම් සළසා ඇත.

    මෙම රක්ෂණ ක්‍රමය යටතේ ස්වාමීන් වහන්සේලාට, පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී එක් සිද්ධියක් සදහා උපරිමය ලක්ෂ 2ක් ද, (අවම හිමිකම් වටිනාකම රු. 350,000ක වාර්ෂිකයකට යටත්ව) කාමර ගාස්තු සදහා දිනකට රුපියල් 5000ක් උපරිම දින 10ක් සදහාද, ඖෂධ ශල්‍යාගාර වියදම් රු. 80,000ක් ද, වෛද්‍ය ගාස්තු වශයෙන් රු. 50,000ක් ද, වෛද්‍ය පරීක්ෂණ සදහා රු. 40,000ක මුදලක්ද හිමිවේ. ඉහත වර්ගීකරණයන්ට යටත්ව පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් වාර්ෂිකයකට යටත්ව රු. 350,000 ක්ද, රජයේ රෝහලක රෝහල් ගතවීමකදී නේවාසික ගාස්තු ලෙස දිනකට රු. 3000ක් ද මිලදීගනු ලබන ඖෂධ සදහා රු. 80,000ක් ද, වෛද්‍ය පරීක්ෂණ සදහා රු. 40,000 ක් ද හිමිවේ. රජයේ ආයුර්වේද
    රෝහලක රෝහල් ගතවීමකදී නේවාසික ගාස්තු වශයෙන් දිනකට රු. 3000 බැගින් එක් සිද්ධියක් සදහා උපරිමය දින 05ක්ද වශයෙන් හිමිවේ.මීට අමතරව ස්වාමීන් වහන්සේලා සදහා හිමිවන විශේෂ ප්‍රතිලාභ ලෙස හදවත් සැත්කම් සදහා ලක්ෂ 10 ක් ද, පිළිකා රෝග සදහා ලක්ෂ 5 ක්ද, වකුගඩු රෝග සදහා ලක්ෂ 12 ක්ද, මොළයේ ශල්‍යකර්ම සදහා ලක්ෂ 12ක් ද,දණහිස් බද්ධ කිරීම සහ උකුල් ඇට බද්ධ කිරීම සදහා දෙලක්ෂ පනස් දහස බැගින් ද ගෙවනු ලබයි.

    මෙම තෙවැදෑරුම් වැඩසටහනේ දෙවන අදියර ලෙස බුදුපුත් මාපිය සුරක්ෂා වැඩසටහන 2019 සැප්තැම්බර් 22 දින මොණරාගලදී ක්‍රියාත්මක කිරීමට අමාත්‍යතුමා උපදෙස් ලබාදී ඇත. දැනට ලංකාවේ වැඩවසන 40,000ක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගැනීමට බෞද්ධ සමාජයේත් රජයේත් වගකීම වේ. අද පවතින ප්‍රවණතාවය වන්නේ දිනකට භික්ෂූන් වහන්සේලා 8 – 12 දක්වා ප්‍රමාණයක් උපැවිදි වීමයි. දැනට ශාසනයට දරුවෙකු පූජා කරනු ලබන්නේ දිලිදු පවුල් වල දෙමාපියන්ය. තරුණ භික්ෂූන් වහන්සේ උපැවිදි වීම සදහා බලපාන ප්‍රභල හේතුවක් ලෙස පෙනී යන්නේ එම භික්ෂූන් වහන්සේගේ පවුලේ ඇති දිළිදුකම සහ අසරණකමින් තම දෙමාපිය සහෝදර සහෝදරියන් මුදවා ගැනීම තමාගේ වගකීමක් ලෙස සලකා උපැවිදි වීමයි. මෙම ඛේදවාචකයෙන් තරුණ භික්ෂූන් වහන්සේලා මුදවා භික්ෂූ ශාසනයේ අනාගත පැවැත්ම උදෙසා උපැවිදි වීම අවම කිරීම මුලිකොට ගෙන සසුනට තම දරුවෙකු පූජා කළ එම දෙමාපියන්ගේ සුබසාධනය සදහා බුදුපුත් මවුපිය සුරක්ෂා නමින් දියත් කරන මෙම වැඩසටහන යටතේ නිවසක් අහිමි දෙමාපියන්ට නිවසක් තනාදීම, ඔවුන්ගේ ලෙඩදුක් වලට අවශ්‍ය බෙහෙත් හේත් කරගැනීම සදහා අතහිත දීම, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට උදවු කිරීම හා ආදායම් මාර්ගයක් සදහා අතහිත දීම යනාදිය ඇතුලත් කොට ඇත.

    මේ යටතේ අමාත්‍යංශය මගින් ලක්ෂ 4ක්ද ශාසනාරක්ෂක අරමුදලෙන් ලක්ෂයක්ද වහයෙන් ලක්ෂ 5ක මුදලක් එක නිවසක් සදහා වැය කරමින් නිවාස සාදා දීමට නියමිතයි. තෙවන අදියර ලෙස බොදු අරම සුරක්ෂා වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක වන අතර එය වඩාත් විදිමත්ව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අවධානය යොමු කර ඇත. බුද්ධශාසන අමාතයවරයා විසින් සියලුම විහාරස්ථාන ඒවායේ දියුණුව, පහසුකම් ආදිය අනූව වර්ගීකරණය කොට ඇත. දැනට ඇති දත්ත අනූව විහාරස්ථාන හාරසියයකට වඩා භික්ෂූන් වහන්සේ නමක් නොමැතිය. සියයකට පනහකට වඩා විහාරස්ථාන වල වැඩ සිටින්නේ එක් භික්ෂූන් වහන්සේනමක් පමණි. වාසයට සුදුසු ආවාස ගෙයක් නොමැත. සුදුසු වැසිකිළි - කැසිකිළි පහසුකම් නොමැත. චෛත්‍යයක්, සුදුසු බුදු මැදුරක් නොමැත. මෙවැනි පහසුකම් අඩු හෝ රහිත විහාරස්ථාන දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

    තවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා සදහන් කර සිටියේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත සේවයක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සැමරීමේ උළෙල සැප්තැම්බර් 24 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya