මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා සහිත වෘත්තිකයින් රටේ ඉදිරි අනාගතයට අත්‍යවශ්‍ය සාධකයක්- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    සැප්තැම්බර් 10, 2019

    නිපුණතා සහිත වෘත්තිකයින් රටේ ඉදිරි අනාගතයට අත්‍යවශ්‍ය සාධකයක්  බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි

    ඒ මහතා මේ බව පවසා සිටියේ  (09) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී නිපුණතා සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු සහ ඉදිරි ඉලක්ක පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් පැවති මාධ්‍ය හමුවේ දී ය.

    පසුගිය වසර 04 ක කාලය තුළ තමඅමාත්‍යංශය මඟින් ලංකාවේ නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ අංශ කිහිපයක් ඔස්සේ විශාල පරිවර්තනීය දියුණුවක් සිදු කරලීමට සමත් වී ඇති බව පවසා සිටි ඒ මහතා ඒ අතුරින් මෙරට නිදහස් කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම ප්‍රධාන සංකල්පය වී ඇති බවත් පැවසීය. එනම් රටේ නිදහස් අධ්‍යාපනය මෙන්ම වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ වැදගත්කම වාර්තමානය වන විට ඉතාමත්ම අත්‍යවශ්‍ය අංගයක් බවත්, වෘත්තීය අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සිදු වූ විශාල ඉදිරි පියවරක් ලෙස 2015 බලයට පත් වූ මෙම රජය මඟින් සම්පුර්ණයෙන්ම ගාස්තු වලින් තොරව වෘත්තීය අධ්‍යාපනය සිසුනට ලබා දීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.


    මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබා දෙන පිළිගත් ආයතන කිහිපයක් පවතී. ඒ අතුරින් NAITA, GERMEN TECH, කාර්මික තාක්ෂණ ආයතන (Technical Colleges) වැනි ආයතන ප්‍රමුඛ වේ. මෙම ආයතන වල සති අන්ත සහ සතියේ දින පාඨමාලා 90% ක් පමණ නොමිලේ පැවැත්වේ. මෙම ආයතනවල පැවැත්වෙන නව පාඨමාලා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, වර්තමානය වන විට එකී බඳවා ගැනීම් කටයුතුවල දිනෙන් දිනම වර්ධනය වන බවත්, අධ්‍යාපනය පමණක් නොව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සපුරාලීමෙහි ලා එකී පුහුණු ආයතන වල භෞතික පහසුකම් වල විශාල දියුණුවක් ද ඇති කිරීමට හැකි ව ඇති බව ද සඳහන් කරන ලදී.

    ඒ අනුව, වර්තමානය වන විට යුරෝ මිලියන 8.4 ක ජර්මානු ජනරජයේ ආධාර මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැවැන්ත කාර්මික තාක්ෂණ ආයතනයක් ඉදිකිරීමට හැකි වී ඇති බවත්, පෞද්ගලික අංශයේ දායකත්වය මත කටුබැද්ද ජර්මන් තාක්ෂණ ආයතනය නවීකරණය කර නව පාඨමාලා ආරම්භ කිරීමටත්, මාතර දිස්ත්‍රික්කයේ ද මෙවැනි ජර්මන් තාක්ෂණ ආයතනයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ද දැනට සිදු කරගෙන යන බවටත් මෙහි දී ඒ මහතා විසින් සඳහන් කෙරිණි.


    පසුගිය රජය මඟින් ඉදිකිරීමට කටයුතු යෙදුණු 2016 ඉදිකිරීම් අවසන්ව විවෘත වූ NSBM - හරිත විශ්වවිද්‍යාලය දෙස් විදෙස් සිසුන් 10,000 ක් පමණ අධ්‍යාපන ලබන ලංකාවේ දියුණුතම වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලයන්ගෙන් එකක් වන අතර එහි පාඨමාලා වල නිරත වුවන් දෙස් විදෙස් රැකියා ගත කිරීම සාර්ථකව සිදු කරන බවත්, දැනට පවතින පරිගණක ඉංජිනේරු සහ ව්‍යාපාර අධ්‍යන පීඨ වලට අමතර ව සිවිල් ඉංජිනේරු පීඨයක්
    සඳහා අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සැළසුම් කර ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.


    එමෙන්ම රුපියල් මිලියන 1,539 ක ආයෝජනයකින් ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස විද්‍යාලය සිසු අයිතියට පත් කෙරුණු බවත්, සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කිරීම ට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත සේවක පීරිස් බිහි කිරීම සඳහා
    පුච්චවේලු සහ අහංගම යන ප්‍රදේශයන් හි විශිෂ්ට ගනයේ හෝටල් පාසල් 02 ක් ඉදි කර සිසු අයිතීන්ට පත් කිරීමත් සිදු කෙරුණු බවත්, තෝරාගත් කාර්මික විද්‍යාල ගණනාවක් ඉහල මට්ටමකින් යුතුව කොරියානු ආධාර සහ මධ්‍යම රජයේ ආධාර මත නවීකරණය කිරීමටත්, ඒ අනුව ගම්පහ කාර්මික විද්‍යාලය කොරියානු ආධාර සහ විශේෂඥ දැනුම මත වැඩිදියුණු කර සිසු අයිතියට පත් කළ බවත්, රුපියල් මිලියන 510 ක වියදමින් ආනමඩුව ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් පුත්තලම් දිස්ත්‍රික්කය වෙනුවෙන් දැනටමත් ඉදි වෙමින් ඇති බවත්, රුපියල් මිලියන 4,081 ක සහන ණය පදනම මත වෘත්තීය පුහුණු අධිකාරියට අනුබද්ධිත ව කොරියන් තාක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කර සිසු අයිතියට පත්
    කර ඇති බවත්, මධ්‍යම මට්ටමේ ඉංජිනේරුවරුන් බිහි කරන කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය ද රුපියල් මිලයන 9.5 ක වියදමින් වැඩිදියුණු කරමින් පවතින අතර එය 2020 වන විට සිසු අයිතියට පත් කිරීමට නියමිත බවත් සඳහන් කෙරුණු ලැබූ අතර, UNIVOTECH විශ්ව විද්‍යාලය ද නවීකරණයට ලක් කරමින් සිටින බවත්, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අයවලුන් සඳහා ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එය මැලේසියානු විශ්ව විද්‍යාලයක් හා ඒකාබද්ධව අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන බවත්, සාගරික විද්‍යා දැනුම ලබා දීම සඳහා ඒ වෙනුවෙන් පැරණි සාගර පුහුණු ආයතනය සාගර විශ්ව විද්‍යාලයක් බවට පත් කර ඇති බවත් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විසින් සිදු කරනු ලැබූ සංවර්ධන ක්‍රියාදාමයන් පිලිබදව හැඳින්වීමේ දී පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya