මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පැය 2යි විනාඩි 49 කට වතාවක්ම රිය ගැටුමක් හේතුවෙන් මරණයක් සිදුවෙනවා - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    අගෝස්තු 24, 2019

    ලෝකයේ සෑම තත්පර 25කට සැරයක්ම කෙනෙකු රිය අනතුරු හේතුවෙන් මියයන බවත්, ලංකාවේ සෑම පැය 2යි විනාඩි 49 කට සැරයක් රිය අනතුරු හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියයන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව පැවසුවේ,   (අගෝස්තු 23) කොළඹ විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨ පැරණි ශ්‍රවණාගාරයෙහි මාර්ග ආරක්ෂාව සහතික කිරීමට රටක් වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අවධාරණය කිරීම පිණිස පැවති වැඩසටහනෙහි ප්‍රමුඛ දේශනය පවත්වමිනි.

    මෙම වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා පොලිස් රථවාහන දෙපාර්තමේන්තුව, ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව,මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සංවිදාන ශක්තියෙන් දියත් වූ අතර එහි සම්පත් දියකයින් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය නාලිකා ගුණවර්ධන මහත්මිය, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ජාතික ජෝන් ගිලන්රථ සේවාවේ අධ්‍යක්ෂ පුහුණු / කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වෛද්‍ය තක්ෂිලා තිලකසිරි මහත්මිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉංජිනේරු ජයලත් එදිරිසිංහ මහතා, ලෝක
    සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය අචල ජයතිලක මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු (මාර්ග) සිසුන් සභාව අමතන ලදී.


    ශ්‍රී ලංකාවේ දිනෙන් දින මාර්ග අනතුරු ඉහළ යන අතර මෙම මහජන සෞඛ්‍ය ප්‍රශ්නය පිළිබදව මහ ජනතාවගේ සහ වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය ගිලිහෙමින් පවතී. මෙම තත්ත්වය හමුවේ මහමග සිදුවන අනතුරු අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග අවධාරණය කිරීමට මෙම මහජන හමුව කැදවීම සිදුකෙරුණි.


    මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නාලිකා ගුණවර්ධන මහත්මිය පැවසුවේ මෙම ගැටලුව සදහා රිය අනතුරු යන්නට වඩා රිය ගැටුම් යන වචනය භාවිතය යෝග්‍ය වන බවයි. එයට හේතුව ලෙස ඇය කියා සිටියේ අනතුරු වළක්වාගත නොහැකි වන අතර ගැටුම් වළක්වාගත හැකි ඒවා වන බවයි. වසරකට මිලියන 20කට අධික ප්‍රමාණයක් මෙම රිය ගැටුම් හේතුවෙන් මිය යන අතර මෙලෙස මිය යන්නන් වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වලින් වාර්තා වෙයි.එයට හේතුව මෙම රටවල සීඝ්‍රයෙන් වර්ධනය වන වාහන ගහණයයි. රිය ගැටුම් හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 8ක් පමණ මිය යන අතර එලෙස මියයන්නන් මෙන් තුන් ගුනයක් බරපතල තුවාල ලබා රෝහල්ගත කරයි.

    අනෙක් රටවල් වල මෙන්ම අප රටෙහිද මෙම මරණ වලට ගොදුරු වීමට වැඩි අවදානමක් පවතින්නේ අවදානම් සහිතව මාර්ග භාවිතා කරන්නන් ය. මෝටර් රථ වල යන්නන්ට සාපේක්ෂව මාර්ග ගැටුම් වලින් වැඩි වශයෙන් මිය යන්නේ පාපැදි කරුවන්, යතුරුපැදි කරුවන්, ත්‍රී රෝද රථ වල ගමන් ගන්නන් ය. එයට හේතුව වන්නේ මොවුන්ගේ සිරුරු ගමනාගමනයේදී වැඩි වශයෙන් නිරාවරණය වී පැවතීමයි. එමෙන්ම මොවුන් අඩු ආදායම්ලාභී, තමන්ගේම වාහනයකට අයිතියක් වත්කමක් නොමැති පිරිස් වෙයි. අප රටේ රිය ගැටුම් වලට ලක්වන බහුතරය අවුරුදු 15 – 25 වයසේ පසුවන ශ්‍රම බලකාය නියෝජනය කරන තරුණ පිරිස්ය.


    2030 සංවර්ධන සැලැස්මට අනූව එහි ඉලක්ක 17ක් අන්තර්ගත වන අතර එහි තුන්වන ඉලක්කය වෙන් වනුයේ සේඛ්‍ය වෙනුවෙනි. මෙහි මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම රටක්ම සපුරාගත යුතු ඉලක්ක 2ක් අඩංගු වෙයි. මාර්ගාරක්ෂාව සැලසීම සෞඛ්‍යයට ඉතාමත් වැදගත් අංගයක් වන අතර සමස්ථ ජනතාවටම සෞඛ්‍යමත් ජීවිතයක් ළගාකර දීමට එය ඉවහල් වේ. 2010 වසරේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්ග සුරක්ෂිතතාවය පිළිබද දස වසරක යෝජනාවක් එළිදැක්වූ අතර එහි මාර්ග සුරක්ෂිතතාවය කළමනාකරණය සම්බන්ධයෙන් කුසලතා වර්ධනය, සුරක්ෂිත මාර්ග සදහා යටිතල පහසුකම් දියුණු කිරීම, වඩාත් සුරක්ෂිත වාහන නිපදවීම, මාර්ග භාවිතා කරන්නන්ගේ හැසිරීම වෙනස් කිරීම සහ රිය ගැටුමකින් පසුව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය වැඩිදියුණු කිරීම යන කාරණා 05 සම්බන්ධයෙන් අවදානය දක්වා ඇත. එම එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශයට අනුකූලව ශ්‍රී ලංකාව 2011 මැයි මාසයේදී National Road Safety Action Plan යනුවෙන් දස වසරක සැලැස්මක් දියත් කර ඇත. එහි ලොකුම ඉලක්කය වනුයේ දස වසරක එනම් 2010 වසරේ සිට 2020 වන විට මාර්ග අනතුරු වලින් මියයන ප්‍රමාණය 50%කින් අඩු කිරීමයි. රටක් වශයෙන් මාර්ග ගැටුම් හේතුවෙන් මියයන සහ තුවාල වන පිරිස දැරීමට අසීරු තත්ත්වයක් උත්ගත වී ඇති අතර ඒ හේතුවෙන් මේ ඉලක්කය වෙත 2020 වන විට ළගාවිය නොහැකි බවක් පෙන්නුම් කරයි.


    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනූව අප රටට පළමු වාහනය ගෙන්වා ඇත්තේ වසර 1904 දී ය. 1910 දී කොළඹ පළමු රිය අනතුර සිදුව ඇත. ඔහු පවසන පරිදි අද වන විට අනතුරක බිහිසුණුභාවය වැඩිවී ඇත. 2009 වසරේ සිට 2018 වසර දක්වා සංඛ්‍යා ලේඛණ ගෙන බැලීමේදී සෑම වසරකම අප රටෙහි රිය අනතුරු හේතුවෙන් 3000ක් පමණ මිය යයි. 15,000 ක් පමණ සදා ආබාධිත තත්ත්වයට පත්වන අතර 10,000ක් පමණ තුවාල ලබයි.


    අනතුරකදී සිදුවන ජීවිත හානිය මිලකල නොහැකි වුවද, ලංකා රජය එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් වියදම් කරයි. ඉහත සංඛ්‍යාලේඛණ වලට අනූව රිය අනතුරු හේතුවෙන් වසරකට 3000ක් පමණ මිය යන බැවින් වසරකට අප රජය රිය අනතුරු වෙනුවෙන් දස ලක්ෂයේ ඒවා තුන්දාහක් වියදම් කරයි. මෙම විශාල මුදල වැය වනුයේ වළක්වාගත හැකි තත්ත්වයක් වෙනුවෙන් වීම ඛේදනීය තත්ත්වයකි.


    ලෝකයේ වසරකට මිලියන 1.26ක් මාරක රිය අනතුරු හේතුවෙන් මිය යයි. එමෙන්ම ලෝකයෙහි සෑම තත්පර 25කට සැරයක්ම එක් පුද්ගලයෙකු මාරක රිය අනතුරු වලින් මිය යයි. අප රටෙහි තත්ත්වය දෙස බැලීමේදී 2018 වසරේ මාරක රිය අනතුරු හේතුවෙන් ලංකාවේ පුද්ගලයින් 3113ක් මිය ගොස් ඇත.
    මෙම අනතුරු හේතුවෙන් සෑම පැය 2යි විනාඩි 49 කට වතාවක්ම ලංකාවේ එක් පුද්ගලයෙකු මියයයි. 2018 වසරේ මාරක රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ ගණන 20539කි. දවසකට මෙම ප්‍රමාණය 56කි. එනම් අප රටෙහි සෑම විනාඩි 27කට වරක්ම එක් පුද්ගලයෙකු රිය අනතුරු හේතුවෙන් තුවාල ලබයි.
    අප රටෙහි රිය අනතුරු හේතුවෙන් වැඩිපුරම මිය යන්නේ මෝටර් සයිකල්කරුවන්ය. ඉන් පසු වැඩි ප්‍රමාණයක් පදිකයින්ද, රියදුරන්ද වශයෙන් මිය යයි. මෙලෙස රිය අනතුරු සදහා හේතු වන කරුණු කිහිපයකි. එනම්
    නොසැලකිලිමත්/ අපරීක්ෂාකාරී ධාවනය, අධික වේගයෙන් රිය පැදවීම, තරගකාරීත්වය (මෙය පොදු ප්‍රවාහන පද්ධතියේ විශේෂයෙන් කැපීපෙනෙන තත්ත්වයකි), බීමත්ව රිය ධාවනය, මානසික ආතතිය, නිදිමතෙන් යුතුව රිය පැදවීම, ඖෂධ ගෙන වාහන පැදවීම, පාරේ තත්ත්වය නුසුදුසු වීම(පාරවල් විවිධ නඩත්තු කටයුතු සදහා කපා ඒවා නිසි ලෙස පිලිසකර නොකිරීම), අවුරුදු 16,17 වයස් වල පසුවන ළමුන් විනෝදාංශයක් ලෙස වාහන ධාවනය කිරීම, අධික වාහන ගහණය සහ වාහන වල කාර්මික දෝෂ ආදියයි.
    අප රටෙහි වාහන ලියාපදිංචිය වැඩි වීමට සාපේක්ෂව මාර්ග පද්ධතියේ පුළුල් වීමක් සිදුවී නොමැත. මෙයද අනතුරු වලට අත වනන තත්ත්වයකි. එමෙන්ම ලංකාවේ ලක්ෂ 48ක් පමණ යතුරුපැදි පවතින අතර එම යතුරුපැදි මාර්ග තදබදයට ප්‍රධාන හේතුවක් ද වෙයි.
    රිය අනතුරු වළක්වාගැනීම සම්බන්ධයෙන් රියදුරෙකු විසින් අනුගමනය කළයුතු වැදගත් කරුණු කිහිපයක් වෙයි. එනම් රියදුරන් අවදානයෙන් වාහන ධාවනය කළ යුතු අතර මාර්ග සංඥා පිළිබදවද සැලකිලිමත් විය යුතුය. රිය
    ධාවනයේදී ජංගම දුරකතන භාවිතයෙන් වැළකීම, සීඩී තැටි ධාවනයට නොයෑම, බීමත්ව රිය ධාවනය නොකිරීම, වේගය පිළිබදව සැලකිලිමත් වීම, නිදිමතෙන් රිය ධාවනය නොකිරීම, ආසන පටි පැළදීම සිදුකල යුතුය. මගීන් විසින්ද මෙවැනිවූ කරුණු කිහිපයක් පිළිබදව සැලකිලිමත් විය යුතුය. හිස් වැසුම්, ආසන පටි පැළදීම, වාහනයක ගමන් කිරීමේදී හිස අත පය ආදිය එළියට නොදා ගමන් කිරීම, ගමන්ගන්නා වාහන වලට ගොඩවීමට සහ ඉන් බැසීමට යාමෙන් වැළකීම, පාපුවරුවේ ගමන් නොකිරීම සිදුකල යුතුය. එමෙන්ම පදිකයින් විසින් පාරේ දිවීම සිදු නොකළ යුතු අතර, බීමත්ව ගමන් කිරීම සහ ජංගම දුරකතන භාවිතා කරමින් පාරේ ගමන් කිරීම සිදු නොකළ යුතුය. වාහනයක් පදවන විට පහත ලියකියවිලි රැගෙන යාමට සැලකිලිමත් විය යුතුය.


     Valid Driving License
     Emission Test Certificate
     Insurance Certificate
     Fitness Certificate
     Revenue License


    එමෙන්ම වාහනය ලියාපදිංචි වාහනයක් විය යුතු අතරම වේග සීමා පිළිබදව අවදානයෙන් රිය ධාවනය කළ යුතුය. හොද රියදුරෙකු වශයෙන් වාහනය ධාවනයට ප්‍රථම වතුර, ටයර්, හෙඩ් ලයිට් ආදිය පරීක්ෂාකර බැලීමද සිදුකල යුතුය. මෙම නිරන්තර සැලකිල්ල රිය අනතුරක වින්දිතයෙකු නොවීමට හේතුවක් වනු ඇත.

    රිය අනතුරකදී ප්‍රථමාධාර ලබාදීම ඉතාම වැදගත් වන අතර ගිලන්රථයක් පැමිණීමට ගතවන විනාඩි කිහිපය තුළ නිසි ප්‍රථමාධාර නොලැබීමෙන් රෝගියාගේ මරණය පවා සිදුවිය හැක. ඒ හේතුවෙන් ප්‍රථම විනාඩි 10 ඇතුළත ප්‍රථමාදාර ඇරඹිය යුතුය. රිය අනතුරක් සිදුවූ අවස්ථාවක රෝගියා ගිලන් රථය වෙත යොමු කරන කාලය තුළ රෝගියාගේ හිස තරමක් ඔසවා තබාගැනීම වැදගත් වෙයි. එමෙන්ම රෝගියාගේ ශරීරය නැමෙන ලෙස ත්‍රීරෝද රථ වල නංවා ධාවනය නොකළ යුතුය. වැදගත්ම කරුණ වන්නේ අනතුරට ලක්වූ පුද්ගලයාට සිහිය ඇති අවස්ථාවේ ඔහුගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට අවට සිටින පුද්ගලයන් කටයුතු කළ යුතුය. මෙය රෝගියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මෙන්ම රෝගියාට ප්‍රතිකාර සැපයීමේදී වැදගත් වෙයි. අප රටෙහි ක්‍රියාත්මක වන 1990අංක දරණ ගිලන්රථ ප්‍රතිකාර සේවය මගින් හදිසි අනතුරකදී ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකුට නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවක් පවතී. 1990 අංකයට හදිසි අවස්ථාවකදී ඇමතීමේදී එක වරක් නාද වන විටම දුරකතනයට ප්‍රතිචාර දක්වා ප්‍රදේශයේ ආසන්නම ගිලන්රථය සම්බන්ධ කර රෝගියාට කඩිනම් සේවයක් ලබාදෙයි. මෙම ඇමතුම් සදහාද කිසිදු මුදලක් අය නොවන අතර සෑම ගිලන් රථයක් සදහාම පැය 24 පුරා සේවයට කැපවුණු වෛද්‍යවරයෙකු සිටීමද විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya