මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුළින් කිසිදු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුවන්නේ නැහැ’ - විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක්

    අගෝස්තු 21, 2019

    2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලු ම පාසල් හා ආයතනික විභාගවල ඇගයීම් ක‍්‍රමවේදය වඩාත් නිරවුල් වූත්, වඩාත් විශ්වසනීයවූත් ක‍්‍රමෝපායන් අනුගමනය කරමින් සිදුකරන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, ඒ අනුව, විද්‍යාත්මක පදනමක සිට ඇගයීම් කටයුතු මෙහෙයවීමට විභාග දෙපාර්තමේන්තුව දරන වෑයම තුළ කිසිදු විභාග අපේක්‍ෂකයකුට අගතියක් සිදු නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

    මේ සම්බන්ධ ව වැඩිදුරටත් කරුණු දක්වන කොමසාරිස් ජනරාල්වරයා පාසල් විභාග පිළිතුරු පත‍්‍ර ඇගයීමේ ක‍්‍රියාවලිය සකස් කර ඇති ආකාරය ද පහත පරිදි පෙන්වා දෙයි.

    * සෑම විෂයයක් ම පදනම් කරගනිමින් සකස් කරනු ලබන සෑම ප‍්‍රශ්න පත‍්‍රයක් සඳහා ම ප‍්‍රධාන පාලක පරීක්‍ෂකවරයකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර අ.පො.ස.(උ/පෙළ) විභාගයේ එක් එක් විෂය සඳහා ප‍්‍රධාන පාලක පරීක්‍ෂකවරුන් තෝරා පත්කර ගැනීමේ දී ඒ ඒ විෂයයට අදාළ විෂය ප‍්‍රවීණයන් විශ්වවිද්‍යාලවලින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරයි.

    * මෙම පාලක පරීක්‍ෂක මණ්ඩලය මඟින් සකස් කරනු ලබන ප‍්‍රශ්න පත‍්‍රයට අදාළ ලකුණු දීමේ පටිපාටිය එම පාලක පරීක්‍ෂක මණ්ඩලය විසින් ප‍්‍රශ්න පත‍්‍රය සකස් කරන අවස්ථාවේ දී ම සිදු කරන අතර ඒ මඟින් සකස් කර ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී ගැටලු සහගත අවස්ථා වේ නම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමට එමඟින් අවස්ථාව ලැබේ.

    * එලෙස සකස් කරන ලද ලකුණු ලබා දීමේ පටිපාටිය මුද්‍රා තබා ප‍්‍රශ්න පත‍්‍රය සමඟ භාරදෙන අතර විභාගය අවසන් වූ වහාම අවසන් ලකුණු දීමේ පටිපාටිය පිළිබඳ ව සාකච්ඡා කරනු ලබයි. ඒ සඳහා පාලක පරීක්‍ෂක මණ්ඩලය,පාසල් පද්ධතිය තුළ එම පිළිතුරු පත‍්‍ර ඇගයීමට සම්බන්ධ වන ප‍්‍රවීණ ගුරුභවතුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයය සම්බන්ධ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර ගැනීමට මෙම දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

    * එහි දී සකස් කරන ලද ලකුණු දීමේ පටිපාටිය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගන්නා අතර ඒ සම්බන්ධයෙන් පහත අවස්ථා උපයෝගී කර ගැනීමට කටයුතු කරනු ලබයි.

    * දිවයිනේ විවිධ ප‍්‍රදේශ අනුව විවිධ මට්ටමේ පාසල්වල ග‍්‍රාමීය/නාගරික වශයෙන්, පහසුකම් සහිත/රහිත වශයෙන්, ස්ත‍්‍රී/පුරුෂ වශයෙන් නියෝජනය වන පරිදි පිළිතුරු පත‍්‍ර නියැදියක් ලබාගෙන අධ්‍යයනය කරනු ලබයි.

    * මෙහි දී අපේක්‍ෂකයන් විසින් පරිශීලනය කරන ලද නිර්දේශිත ග‍්‍රන්ථ, ගුරු අත්පොත්, සම්පත් පොත් ආදිය ආශ‍්‍රයෙන් විකල්ප පිළිතුරු පිළිබඳ සලකා බලා ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කොට අවශ්‍ය වේ නම් ලකුණු ලබා දීමේ පටිපාටිය ඒ අවස්ථාවේ දී සංශෝධනය කරනු ලබයි.

    * ඊට අමතරව විභාග අපේක්‍ෂකයන් එක් එක් ප‍්‍රශ්නය අවබෝධ කරගෙන ඇති ආකාරය හා පිළිතුරු සපයා ඇති ආකාරය පිළිබඳව එම අධ්‍යයනය තුළින් නිරීක්‍ෂණය කරන අතර එම දත්ත විශ්ලේෂණය මඟින් අවශ්‍ය වේ නම් ලකුණු දීමේ පටිපාටිය සංශෝධනයන්ට භාජනය කරනු ලබයි.

    * එලෙස සකස් කර ගන්නා ලකුණු දීමේ පටිපාටිය සිංහල,දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය අනුව මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කරනු ලබන අතර මෙහිදී ලකුණු දීමේ පටිපාටිය මාධ්‍ය අනුව වෙනසක් නොමැති අයුරින් සකස් කිරීමක් සිදු කෙරේ.

    * පිළිතුරු පත‍්‍ර ඇගයීම සම්මේලන ක‍්‍රමයට සිදුකරනු ලබන අතර ඒ සඳහා ප‍්‍රධාන පරීක්‍ෂකවරයකු, අතිරේක ප‍්‍රධාන පරීක්‍ෂකවරයකු හා පිළිතුරු පත‍්‍ර ඇගයීම් සිදු කරන සහකාර පරීක්‍ෂකවරු 12 ත් 14 ත් අතර ප‍්‍රමාණයක් එක් මණ්ඩලයකට පත් කර ගනී. එසේම ලකුණුවල නිරවද්‍යතාවය තහවුරු කිරීම උදෙසා සෑම මණ්ඩලයකට ම ගණිත පරීක්‍ෂකවරයකු ද පත් කෙරේ.

    * එලෙස පත්කරගන්නා මණ්ඩලවල ප‍්‍රධාන පරීක්‍ෂක හා අතිරේක ප‍්‍රධාන පරීක්‍ෂකවරුන් සමඟ ප‍්‍රධාන පාලක පරීක්‍ෂකවරයාගේ රැස්වීමක් පැවැත්වෙන අතර විෂයට අදාළ ලකුණු දීමේ පටිපාටිය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරනු ලබයි. එහිදී සිදුකරනු ලබන යෝජනා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වේ නම් එම ලකුණු දීමේ පටිපාටිය ඒ අවස්ථාවේදී ද සංශෝධනවලට භාජනය කරනු ලබයි.

    * ඒ අනුව අවසාන ලකුණු දීමේ පටිපාටිය සම්මත කර ගන්නා අතර ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමේදී හෝ ලකුණු දීමේ පටිපාටි සකස් කිරීමේ දෝෂ ඇත්නම් ඒවා නිරාකරණය කරගෙන විභාග අපේක්‍ෂකයාට සාධාරණ ලකුණක් ලබා දීමේ ප‍්‍රශස්ථ කි‍්‍රයාපටිපාටියක් මෙම දෙපාර්තමේන්තුව අනුගමනය කරනු ලබයි.

    * එම ලකුණු දීමේ පටිපාටිය නිසි අයුරින් උපයෝගී කර ගෙන ඇගයීම් සිදු කිරීමට පෙර සිසුන්ගේ සැබෑ පිළිතුරු පත‍්‍ර කිහිපයක් හෝ එක් සිසුවෙකුගේ පිළිතුරු පත‍්‍රයක් ඡායා පිටපත් කර සකස්කර ගැනීමෙන් අනතුරුව එම පිළිතුරු පත‍්‍රය සියලු ම පරීක්‍ෂකවරුන් වෙත ලබා දී ඇගයීම සඳහා භාජනය කෙරේ.

    * මෙහි දී ප‍්‍රධාන පාලක පරීක්‍ෂකගේ අධික්‍ෂණය යටතේ ප‍්‍රධාන පරීක්‍ෂකවරුන් වෙත ලබා දුන් පිළිතුරු පත‍්‍රයේ එක් එක් ප‍්‍රශ්නයට අදාළව ඔවුන් ලකුණු ලබා දීමේ පටිපාටිය උපයෝගී කරගෙන ලබා දෙන ලකුණු සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වනු ලබයි.

    * එක් එක් ප‍්‍රශ්නයට එක් එක් පරීක්‍ෂකවරයා ලබා දී ඇති ලකුණු විශාල පරාසයක විහිදී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර, පරීක්‍ෂකවරුන්ගේ පුද්ගලබද්ධතාව හා ලකුණු දීමේ විෂමතා හඳුනාගෙන එම තත්ත්වයන් නැති කර ගැනීමට කටයුතු කරනු ලබයි.

    * මේ ආකාරයටම ඒ ඒ ඇගයීම් මණ්ඩලවල දී සහකාර පරීක්‍ෂකවරුන් වෙතද මෙම අභ්‍යාසය සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දේ.

    * එම අනුහුරු අභ්‍යාස දිගින් දිගටම ඇගයීම් සිදුකරන කාල වකවානුව තුළ දී සිදු කිරීමට උපදෙස් දෙනු ලැබේ.

    * ඇගයීම් කාල සීමාව තුළ ලකුණු දීමේ සංගතතාව ආරක්‍ෂාකර ගැනීම සඳහා සෝදිසි පිළිතුරු පත‍්‍ර පරීක්‍ෂා කිරීම ප‍්‍රධාන පරීක්‍ෂක හා අතිරේක ප‍්‍රධාන පරීක්‍ෂකවරු විසින් සිදු කරනු ලබන අතර එහි දී සහකාර පරීක්‍ෂකවරුන්ගේ පිළිතුරු ඇගයීමේ පුද්ගල බද්ධතා නිරීක්‍ෂණය වේ නම්, ඒවා හඳුනාගෙන ලකුණු දීමේ විෂමතා නැති කර ගැනීමට කටයුතු කරනු ලබයි.

    * සෑම පිළිතුරු පත‍්‍රයක් ම සහකාර පරීක්‍ෂකවරු විසින් ඇගයීම් සිදු කිරීමෙන් පසුව වෙනත් පරීක්‍ෂකවරයකු විසින් නැවත පරීක්‍ෂාවට භාජනය කරන අතර, අනතුරුව ඇගයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්‍ෂකවරයකු මඟින් පිළිතුරු පත‍්‍රයට අදාළ කොටස්වල ලකුණුවල හා අවසාන ලකුණ පිළිබඳ නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරනු ලබයි.

    මේ අනුව, සෑම විභාග අපේක්‍ෂකයකුට ම සාධාරණවූත්, නිරවුල්වූත් ලකුණක් පිරිනැමීමේ අභිලාෂය මෙම ක‍්‍රියාමාර්ග මඟින් ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරන බැවින් මේ දක්වා සෑම අවස්ථාවකදී ම ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඒ සඳහා සියලු ප්‍රයත්නයන් දරා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya