මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අප නිෂ්පාදනය කළොත් විදේශ විනිමය ඉතිරිකර ගත හැකියි-අමාත්‍ය දයා ගමගේ

    අගෝස්තු 21, 2019

    මිනිස් ජීවිතයට කිසිම ආකාරයකින් හෝ අහිතකර නොවන රසායනික ද්‍රව්‍ය භාවිතා කර අපි ඉදිරියට යන්නේ කෙලෙසද කියා නව අදහස් ඉදිරිපත් වුවහොත් සිය අමාත්‍යංශය එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට සූදානම් බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වී අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.

     අමාත්‍යවරයා, මේ බව සදහන් කරන ලද්දේ අද අගෝස්තු 20 වනදා කොළඹ ගොල්ෆේස් හෝටලයේදී ශ්‍රී ලංකාවේ වෙළද ආශ්‍රිත ආධාර තිරසාර රසායනික කළමනාකරණය, ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ පිළිබද සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
    යුනිඩෝ ආයතනය මගින් සිදුකරන මෙය ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක් බව පවසමින් මෙම වැඩමුළුවට සහභාගී වීම සදහා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි රොනී මෑන් මහතාට සිය ස්තුතිය පුද කළ අමාත්‍යවරයා , මෙම වැඩමුළුව වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබදව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තුතිය යුරෝපා සංගමයට පුදකරන බවද පවසා සිටියේය.


    අපේ රටේ දැනට රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය නොකලත්, ඉදිරියේදී විශාල වශයෙන් නව කර්මාන්ත ඇතිකිරීමට බලාපොරොත්තු වන නිසා අප රටට විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වනු ඇතැයිද, සමහර රසායනික ද්‍රව්‍ය අප රටෙහිම නිෂ්පාදනය කළ හැකි අතර එසේ වුවහොත් අප රටට විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කරගැනීමටද අපනයනය මගින් විශාල ආදායමක් ලබාගැනීමටද හැකිවනු ඇතැයි අමාතයවරයා වැඩිදුරටත් පැවසුවේය.

    අප පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය සදහා භාවිතා කරන පොහොර සහ කෘමි නාශක හේතුවෙන් එම ආහාර ද්‍රව්‍ය වල රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් අන්තර්ගත වන බව ප්‍රමිති ආයතනය විසින් සොයාගෙන ඇත. මෙම ගැටලුවට වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් අප රටට නිදහස ලැබී වසර ගණනක් ගතවුවද මෙවැනි අතයවශ්‍ය කාරණා සදහා නිසි වැඩපිළිවෙලක් නොමැති වීම කණගාටුවට කරුණක් බවත් දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.


    රාජ්‍ය සේවය පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා අප රටෙහි රාජ්‍ය සේවකයින් ලක්ෂ 16ක් පමණ සිටියත් ඉන් වැඩ කරන පිරිස 10%කටත් අඩු ප්‍රමාණයක් බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම අන්තර්ජාලය භාවිතා කර අන් රටවල් පිළිබදව මෙරට සිටම දැනගත හැකි බැවින් ලොව අන් රටවල් සමග අප ගමන් කළ යුත්තේ කෙලෙසද යන්න දැනගත හැකි බවත් වැඩිදුරටත් පැවසුවේය.


    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ තමා වැඩ කටයුතු ඇරඹුවේ මේසයක් පුටුවක්වත් නොමැතිව ඉතා අඩු පහසුකම් යටතේ බවත්, වර්තමානයේ එහි 35,000ක පමණ පිරිසක් සේවය කරන බවත් අමාත්‍යවරයා අවදාරණය කරන ලදී. වසර 3ක් ඇතුලත සිය අමාත්‍යංශය ගොඩනගා වර්තමානයේ 36,000ක පිරිසක් සේවය කරන කෘෂිකර්මාන්ත අමාත්‍යංශයටද වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් කිරීමට පුද්ගලික අංශයේද සහාය ඇතිව තමාට හැකියාව ලැබුණු බවත් දයා ගමගේ අමාත්‍යවරයා කියා සිටියේය.


    මෙම ව්‍යාපෘතිය පුද්ගලික අංශය වෙනුවෙන් චෙම්බර්ස් වල නවාස් මහතා සමග ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් සම්බන්ධ කරගනිමින් සිදුකිරීම වඩාත් ප්‍රායෝගික වන බව පැවසූ අමාත්‍යවරයා නීති රීති සකස් කළ යුත්තේ කර්මාන්ත කරුවන්ට සහ පුද්ගලික ව්‍යවසායකයින්ට පහසු වන ආකාරයට බවත් පැවසීය. සමහර අවස්ථාවන් වලදී රජයේ නීති රීති සකස් වන්නේ පුද්ගලික අංශයට කිසිවක් කරගත නොහැකි ආකාරයෙන් බවත්, නමුත් පුද්ගලික අංශයේ අතපය බැද නොදැමිය යුතු බවත් අවදාරණය කරමින් එලෙස පුද්ගලික අංශයට සීමා පැනවුවහොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම, රජයේ නඩත්තු කටයුතු සහ බදු එකතු කිරීම් ආදිය ගැටලුවක් වනු ඇතැයිද ප්‍රකාශ කරන ලදී. අද යුනිඩෝ ආයතනය විසින් සිදුකරන මෙම වැදගත් කර්තව්‍යයටද ඇතමුන් විවේචන එල්ල කරන බවත්, ඇමරිකන් රජය විසින් අප රටට මිලේනියම් චැලේන්ජ් නමින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීමට සූදානම් බවත්, විරුද්ධ පක්ෂය මෙම මුදල ලබානොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. යුරෝපා සංගමය විසින් සිදුකරන මෙම ව්‍යාපෘතිය අප රටට විශාල වාසියක් වන අතර, එයටද විරුද්ධ පක්ෂය විසින් විවේචන එල්ල කරන බවත් පැවසුවේය. අද වන විට අප රටට නොයෙකුත් රටවල් වලින් මුදල් ලැබෙන අතර ඒවා ණය වශයෙන් ලබාදෙනු ලබයි. මෙලෙස අප රටට වැඩි වශයෙන් ආධාර ලබාදී ඇත්තේ ඇමරිකන් රජය විසිනි. සුනාමිය පැමිණි අවස්ථාවේද ඇමරිකන් රජය සහ යුරෝපා සංගමය එක්ව අප රටට සිදුකල සේවය සිහිගැන්වූ අමාත්‍යවරයා එහිදී ඔවුන් අම්පාර දිස්ත්‍රික්කයේ පාලම් සහ නැගෙනහිර සහ උතුරු පළාත් වල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 12ක් සාදාදුන් බවද සිහිපත් කළේය. මේවා ණය නොවන අතර, අප රට වෙනුවෙන්
    ලබාදුන් සහන බවත් එතුමා සදහන් කරන ලදී.
    2005 දී අපගේ අපනයන වෙළදපොළ රටේ ආර්ථිකයෙන් 38%ක්ව පැවති බවත්, එය 12%කින් කඩාවැටී පැවති අතර අද වන විට එය 17% දක්වා වැඩිකර ඇති බවත් අපනයන වෙළදපොළ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම අප රට 80%ක්ම අපනයනය කරන්නේ ඇමරිකාවට බවත්, එමෙන්ම එංගලන්තයට සහ යුරෝපා හවුලටද අප රට වැඩි වශයෙන් අපනයන සිදුකරන බවද ප්‍රකාශ කළේය. එලෙස බලන කල එම රටවල් අප රටෙහි අපනයන වෙළදපොළට වැඩි වශයෙන් උදවු කරන බවද, ඔවුන්ගෙන් උදව් ලබාගනිමින් ඇතැම් පිරිස් ඔවුන්ට චෝදනා කරන බවද ප්‍රකාශ කළේය.
    දැනට අපි රසායනික ද්‍රව්‍ය බහුල වශයෙන් භාවිතා කරන නොයෙක් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සදහා ජෛව පොහොර ආදී විකල්ප වලට හුරුවන්නේ කෙසේද සහ හැකි තරම් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිෂ්පාදන සිදුකරන්නේ කෙසේද යන්න සිතා බලා නව අදහස් ඉදිරිපත් කරන ලෙස සම්මන්ත්‍රණයට සහභාගී වූවන්ගෙන් අවසන් වශයෙන් ඉල්ලමින් අමාත්‍යවරයා සිය කතාව අවසන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya