අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනපති පවසයි

    අගෝස්තු 19, 2019

    ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතුයි – ජනපති

    ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපතිතුමා පවසයි.
    2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කළේ එම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  (18) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවයි.

    මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇති බවත්, එම ගැටලුවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බවයි.

    එමෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළේ ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවීම බවයි.

    එමෙන්ම රටට ගැළපෙන ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් මෙන්ම කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් සහ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවීම ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අද නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව ඇති අතර මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදුකළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනක වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කවුරුන් කුමන චෝදනා කළ ද ඉකුත් පස් වසර තුළ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කළා පමණක් නොව රට ගොඩනැගීමට බාධාවක්ව පැවති වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවයට එරෙහිව ද දැඩි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ජාත්‍යන්තර බලවේග හේතුවෙන් පිඩාවට පත්ව අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද පැවති භීෂණය ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ,සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල, සොරිවිල, කොටාරගල ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ඉදිරකන ලද නව ගම්මාන 03ක් අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    ආදිවාසි දිනයට සමගාමිව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම ආදිවාසින්ගෙන් පැවත එන නව පරපුරේ නිවාසලාභීන්ගේ අපේක්ෂාවන් ඉටුකරමින් ඉදිකරන ලද සොරිවිල කොටරාගලගම ආදර්ශ ගම්මානය නව නිවාස 16කින් සමන්විත වේ.

    මූලික පහසුකම්වත් නොමැතිව සිය ජිවිත ගෙනගිය කොටරාගල ගම්වැසියන්ට, ,සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් දෙවසරක් වැනි කෙටි කාලයකදී නව නිවාස පහසුකම්වලින් සමන්විත ආදර්ශ ගම්මානයකට හිමිකම ලැබිණි.
    දළුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතය.

    ඒ ඇසුරෙහි ඉදි වී ඇති දිසාලාගම නව නිවාස 23 කින් සමන්විතය.

    නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සව සභාවේදී නිවාස ලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීමට ද එක් විය.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ප්‍රදේශාවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර සිරිපුර, රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහොත්සවය ද අද පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිතර වූ අතර ඉන් අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය.

    “සසුනට අරුණ” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 ක වියදමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකෙරේ.

    සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහවැලි සී කලාපයේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මාම්පිට චන්දවිමල ස්වාමින්වහන්සේ, රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍ය කිරිමොනාගම අරියවංශ නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya