අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනයෙන් පරිසරයට කිසිඳු හානියක් නෑ - මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්

    අගෝස්තු 13, 2019

    කොළඹ කුණු කසළ බැහැර කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකොට ඇති සනීපාරක්ෂක කසළ රඳවනය මඟින් පරිසරයට හෝ භූගත ජල පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    පරිසර ඇමති වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද පූර්ණ සහය ඇතිව ඉදි කරන ලද මෙම සනීපාරක්ෂක කසළ රඳවනය සඳහා එතුමා ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 02 ක මුදලක් ද ලබා දී ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා එම අමාත්‍යංශයේ අද (13) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

    මෙම අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට සමහර ප්‍රාදේශීය දේශපාලනඥයින් මුල දී විරෝධය පළ කළ නමුත්, කරුණු පහදා දීමෙන් පසු ඔවුන් දැන් එම විරෝධය ඉවත් කොටගෙන ඇති බව ද ලේකම් වරයා කීය.

    මීට පෙර කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ කසළ කෙරවලපිටිය කොම්පෝස්ට් අංගනය වෙත බැහැර කරනු ලැබූ නමුත්, දැන් එහි ධාරිතාවය සම්පූර්ණ වී ඇති බැවින් එයට කසළ බාර ගනු නොලැබේ.


    මේ නිසා කොළඹ කුණු ලොරි රථ මඟින් අරුවක්කාලු වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කළේ කොළඹ කුණු ප්‍රශ්නයට තාවකාලික ක්‍ෂණික විසඳුමක් වශයෙනි. එහෙත්, ලබන වසරේ මාර්තු මාසය වන විට කොළඹ කුණු කසළ කැළණිය වනවාසල කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් එහි දී ඒවා අධිපීඩනයට ලක්කර තලා අඩි 20 කන්ටේනර් වල පටවා දුම්රිය මඟින් අරුවක්කාලු සනීපාරක්ෂක කසළ අංගනය වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන යොදා ඇති බව ද ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවසීය.
    දැනටමත් දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 600 ක් බැහැර කළ හැකි පරිදි අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනයේ එක් කොටසක වැඩ නිමකොට තිබේ.

    කැළණියේ සිට දුම්රියෙන් කසළ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් 04 ක් වැගන් රථ 34 ක් හා කන්ටේනර් පෙට්‌ටි 94 ක් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් පිරිනමා ඇති බව ද, ඒ අනුව ලබන මාර්තු මාසයේ සිට දුම්රියෙන් කසළ ප්‍රවාහනය සිදු කෙරෙනු ඇති බව ද ඒ මහතා තවදුරටත් කීය.
    මාධ්‍යම පරිසර අධිකාරියේ ඝණ අපද්‍රව්‍ය අංශයේ අධ්‍යක්‍ෂිකා සරෝජිනී ජයතිලක මහත්මිය මෙහි දී පැවසුවේ අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ විධිමත් පාරිසරික අධ්‍යනයකින් පසු අවසර ලබා දුන් බවයි. අමාත්‍යංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්‍ෂක ජයවිලාල් ප්‍රනාන්දු, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන හා අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක යන මහත්වරු ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya