අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත්තා- අග්‍රාමාත්‍ය

    අගෝස්තු 13, 2019

    වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලූ රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත් බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹ තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, කුරුණෑගල නගර සභා ශාලාවේ දී පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2018 වසරේ වගා හානි වූ ගොවි ජනතාවට වන්දි පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි.

    එහි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    “දක්‍ෂතාවය අනුව සියලූම දෙනාට ඉහළට යාමට හැකි සමාජයක් ඇති කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මා මෙන්ම, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා ද කටයුතු කරනවා. මේ වසර පහක කාලය තුළ දී ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට අපට හැකි වුණා.

    පසුගිය දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු සුහුරු පාසල ඇති කිරීමට ද අප කටයුතු කළා. ඉදිකෙරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල ඉදිරියේ දී ප්‍රධාන නගරයක් බවට පත්වීමට නියමිතයි. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආණ්ඩුවක් ලෙස අපිද අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා.

    අද අපි මේ වන්දි ලබා දෙන්නේ නියඟයෙන් වගා හානි වූ ගොවි මහත්වරුන් වෙතයි. එම නිසා මේ නියගය පිළිබඳව වචන ස්වල්පයක් සඳහන් කළ යුතුයි. මෑත කාලීනව අපේ රටේ මෙන්ම, දකුණු ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක දේශගුණික විපර්යාස සිදු වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටට මෝසම් දෙකක් අනුව වැසි ලැබෙන අතර අනෙක් කාලවල වැසි රහිත හෝ සුළු නියං තත්වයක් පවතිනවා. නමුත් එම දේශගුණය බොහෝ දුරට වෙනස් වී, අද කලට වේලාවට වර්ෂාව නොලැබී යන තත්ත්වයක් ඇතිව තිබෙනවා.


    ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට දේශගුණික තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට අපට කෙටි කාලීනව තද වැසි බලාපොරොත්තු වීමට සිදුවන අතර අනෙකුත් කාලය වැසි රහිත කාලයක් වෙනවා. එම වැසි රහිත කාලය අතරතුර ද ඇතැම් විට කෙටි කාලයක් තුළ තද වර්ෂාවන් ඇති විය හැකියි.

    මේ ආකාරයට දේශගුණික තත්ත්වය වෙනස් වීමත් සමග නගරාශ්‍රිතව ජල ගැලීම් සිදුවිය හැකි බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. කෙසේ නමුත් මේ දේශගුණික විපර්යාසය නිසා අපේ බෝග වගා කිරීමේ රටාව ද වෙනස් කිරීමට සිදු වෙනවා. එම වැඩ කටයුතු සිදු කරන්නේ කෙසේදැයි අප මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අනුව කෙටි කාලයක් තුළ වගා කර අස්වැන්න ලබාගත හැකි වී වර්ග සහ ජලය අවම වශයෙන් භාවිතා කොට වගා කළ හැකි වී වර්ග හඳුන්වාදීමට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා වෙත මා උපදෙස් ලබා දී තිබෙනවා.


    ඒ වගේම එක් කන්නයක් වැසි ජලය භාවිතා කරමින් වී වගා කොට එමගින් උපරිම වී නිෂ්පාදනයක් ලබා ගැනීමටත්, වැසි ජලය භාවිතා කළ නොහැකි කාලයේ දී වැව් ජලය භාවිතා කළ හැකි ස්ථානවල එම ජලය මගින් දෙවැනි කන්නය වගා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපි තවදුරටත් කල්පනා කරන්නේ වෙනත් බෝග වර්ග ද වගා කොට, වසරක දී කන්න තුනක් වගා කිරීම සඳහා අපේ ගොවි මහත්වරුන් යොමු කිරීමටයි.

    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා යටතේ නවීන ක්‍රමවේද අනුව පැෂන් ඇතුලූ පළතුරු වර්ග සහ එළවලූ වර්ග ගණනාවක් වගා කර තිබෙනවා.

    මෙම නවීකරණය ඉදිරි වසර කිහිපය තුළ රට පුරා ව්‍යාප්ත කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙම නවීකරණය ඔස්සේ බෝග වගා කිරීම පමණක් නොව, සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ අනුව ශීතාගාර සහිත පළමු සැකසුම් මධ්‍යස්ථානය අනුරාධපුර, නාච්චදූව ප්‍රදේශයේ ආරම්භ කිරීමට අප මේ වන විටත් කටයුතු කර තිබෙනවා. එවැනි තවත් සැකසුම් මධ්‍යස්ථානයක් දඹුල්ල සහ වැලිමඩ ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිතයි.

    මෙම සැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අප පුද්ගලික අංශයට ද ආරාධනා කර සිටිනවා. අවම වශයෙන් මෙවැනි එළවලූ හා පළතුරු සැකසුම් මධ්‍යස්ථාන 150 ක් වත් රට පුරා පැවතිය යුතුයි. ඒ වගේම බෝග වර්ග සැකසුම් මධ්‍යස්ථාන කරා ගෙන යාමට භාවිතා කරන ප්ලාස්ටික් ඇසුරුම් සහන මිලකට ලබාදීමට ද අප කටයුතු කරනවා. එමගින් නාස්තිය අවම කොට උපරිම ආරක්‍ෂාවක් යටතේ බෝග වර්ග සැකසුම් මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ගොවියාට ඉහළ ආදායමක් ලබාදීම අපේ බලාපොරාත්තුවයි.

    එක් එක් කන්නවල දී වගා කළ යුතු බෝග වර්ග ඇතුලූ සියලූ කරුණු සම්බන්ධයෙන් ගොවි මහත්වරුන් දැනුවත් කිරීමට සහ උපදෙස් ලබා දීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. එම සියලූ තොරතුරු ජංගම දුරකථනය ඔස්සේ ලබාගත හැකි සේවාවක් ලෙස එම ක්‍රමවේදය සකස් කිරීමට නියමිතයි.

    මෙම විප්ලවීය වෙනස සිදු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු පී. හැරිසන් අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඊට සමගාමීව වැව් අමුණු සංවර්ධනය කිරීම ද කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මෙම වසරේ දී පමණක් වැව් අමුණු 3000 ක් නවීකරණය කරමින් තිබෙනවා.

    මීට පෙර වගා හානිවූවන් සදහා වන්දි මුදල් ලෙස අක්කරයකට ගෙවනු ලැබූයේ රුපියල් 10,000 ක් පමණයි. එම මුදල් ප්‍රමාණවත් වන්නේ නැහැ. වගා හානිවූවන් සඳහා ගෙවනු ලබන එම වන්දි මුදල වැඩි කරන ලෙස අප විපක්‍ෂයේ සිටිය දී අවස්ථා කිහිපයකදීම එවකට පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

    නමුත් එවකට පැවැති රාජපක්‍ෂ ආණ්ඩුව කියා සිටියේ එම වන්දි මුදල වැඩි කළ නොහැකි බවයි. අවසානය වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට වන්දි ගෙවීමට හෝ වෙනත් කිසිදු කටයුත්තක් සඳහා හෝ මුදල් තිබුණේ නැහැ. 2014 වසරේ නොවැම්බර් මාසයේ පැවැති ගංවතුර තත්ත්වයට ඔබට මතක ඇති. එම ගංවතුරෙන් හානිවූවන් සඳහා වන්දි ගෙවීමටවත් ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අනතුරුව, 2015 වසරේ දී අප ආණ්ඩු බලය ලබාගත් පසු එම ගංවතුරින් හානිවූවන් සඳහා වන්දි ගෙවීමට කටයුතු කළා.
    රාජපක්‍ෂ ආණ්ඩුවට එම වන්දි මුදල්වත් ගෙවා ගැනීමට නොහැකි වුණේ ඇයි? ඔවුන්ට ආර්ථිකය හසුරුවා ගෙන ඉදිරියට යාමට නොහැකි වුණා. එම නිසා 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය 2014 වසරේ දී පැවැත්වීමට ඔවුන්ට සිදුවුණා. සම්පූර්ණ මුදල් හිඟයක් ඇති වීමට මැතිවරණය පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. එම මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩුව බාර ගැනීමෙන් පසු, පළමුව ආර්ථිකය ගොඩනැගිය යුතු බව මම තීරණය කළා. එම ක්‍රියාමාර්ගය කෙතරම් දුෂ්කර වුවත් මග දී පැන යාමට හෝ, හදිසි මැතිවරණවලට යාමට හෝ කටයුතු නොකොට කෙසේ හෝ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන බව මා කියා සිටියා. එහිදී පළමු වසර දෙක ඉතාමත් අසීරු වසර දෙකක් බව මම හොදින් දැන සිටියා.


    ඒ අනුව අවශ්‍ය වැඩ කටයුතු හොදින් ඉටු කිරීමට අපට හැකි වුණා. අප පොරොන්දු වූ පරිදි වගා හානිවූවන් සඳහා අක්කරයකට රුපියල් 40,000 ක මුදලක් ලබාදීමට අද අපට හැකි වී තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට අප කටයුතු කළ නිසයි. අප ලබාදෙන එම වන්දි මුදලින් වගා හානි වූ ගොවි මහත්වරුවන්ගේ අලාභයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා. මේ කටයුතු සිදු කිරීමට මුදල් තිබිය යුතුයි. මුදල් නොමැතිව මේ කිසිවක් කළ නොහැකියි. වෙනස එයයි.

    වසර 10 ක් ආර්ථිකය බාර ගෙන සිටියත්, ආර්ථිකය දියුණු කිරීමට රාජපක්‍ෂ ආණ්ඩුවට නොහැකි වුණා. අවම වශයෙන් යුද්ධය අවසන් වී ගත වූ වසර 5 ක කාලය තුළදීවත් ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. අවසානයේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකිව ඒ කටයුතු අතහැර, හදිසි මැතිවරණයකට ගොස් ආණ්ඩු බලයත් අතහැර යාමට රාජපක්‍ෂ ආණ්ඩුවට සිදුවුණා.

    නැවතත් පරණ තැනටම යනවාද, නැතිනම් ආර්ථිකය දියුණු කළ හැකි වන ලෙස ඉදිරියට යනවාදැයි ඔබ කල්පනා කළ යුතුයි. අප ආණ්ඩු බලය ලබාගන්නා විට විවිධ ප්‍රශ්න තිබුණා. ඇතැම් අවස්ථාවල භාණ්ඩ මිල ඉහළ ගියා. නමුත්, එම ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට අපට මේ වන විට හැකි වී තිබෙනවා.

    2009 වසරේ යුද්ධය අවසන් වී 2014 දක්වා ගත වූ වසර 5 ක කාලය තුළත් සිදු වූයේ එයයි. නමුත් අප බලය ලබාගෙන වසර 5 ක් ඇතුළත රට ඉහළට ඔසවා තබා වගා හානිවූවන් සඳහා විශාල වන්දි මුදල් ප්‍රමාණයක් ගෙවනවා. එසේ නම් මගේ ප්‍රශ්නය වන්නේ වසර 10 ක දී ඔවුන්ට රට වෙනුවෙන් කළ නොහැකි වූ දේ තවත් වසර 5 ක දී කළ හැකි ද යන්නයි.

    රාජපක්‍ෂ ආණ්ඩුවට මුදල් නොතිබූ නිසා අධ්‍යාපනයට, සෞඛ්‍යයට මුදල් වෙන් කළේ නැහැ. නමුත් අපි මුදල් සොයා ගනිමින් “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන, සුරක්‍ෂා රක්‍ෂණාවරණය, වසර 13 ක පාසල් අධ්‍යාපනය ලබාදීම, උසස් පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක ලබාදීම ආදී වැඩසටහන් රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරනවා.

    සුවසැරිය ගිලන් රථ සේවය, හෘද රෝගීන් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදීම, රෝහල්වලට නව උපකරණ ලබාදීම ඇතුලූ තවත් වැඩසටහන් රැසක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කර තිබෙනවා. ඒ වගේම භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් නව රක්‍ෂණාවරණයක් ලබා දී තිබෙනවා.

    රාජපක්‍ෂ ආණ්ඩුවට වසර 10 ක දී සිදු කළ නොහැකි වූ සංවර්ධනය අපි වසර 5 ක දී සිදු කර තිබිය දී මේ අය තවත් වසර 5 ක් ඉල්ලා සිටින්නේ ඇයි? ඔවුන්ට වසර 10 ක දී ඉටු කළ නොහැකි වූ දේ තවත් වසර 5 කින් කෙසේවත් ඉටු කළ නොහැකියි.

    ඔවුන්ගේ වසර 10 ක පාලන කාලය තුළ හම්බන්තොට වරාය සෑම වසරකදීම විශාල ලෙස අලාභ ලැබුවා. අපි ආණ්ඩු බලය ලබාගෙන තෙවන වසර වන විට අලාභය නැති කර එහි කටයුතු ඉදිරියට සිදුකිරීමට බාර දුන්නා. හම්බන්තොට වරාය ඉදිකර වසර 10 කින්වත් ඔවුන්ට ලාභයක් ගැනීමට නොහැකි වුණා නම් නැවත පැමිණ ලාබ ලැබිය හැකිද? ජේ.සී. අලවතුවල රාජ්‍ය අමාත්‍යතුමා සහ එතුමාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිදු කර තිබෙන වැඩ කටයුතු මොනවාදැයි විමසා බලන්න. එම අමාත්‍යාංශය යටතේ මෙම වසර 5 ක කාලය තුළ නිල පියස දෙදහසකට අධික ප්‍රමාණයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි ද ඉදිකරනවා.


    වසර 10 ක දී රාජපක්‍ෂ ආණ්ඩුවට මේ කිසිවක් කිරීමට හැකි වුණේ නැහැ. නම මාරු කළ පමණින් මේ අයට විශේෂ ශක්තියක් හෝ බලයක් ලැබෙනවාද? යුද්ධය අවසන් වූ පසු රටේ සංහිදියාව ඇති කළේ නැහැ. ප්‍රශ්න විශාල ගණනාවක් තිබුණා. මේ අයට වසර 10 ක් සංහිදියාව ඇති කිරීමට නොහැකි වුණා. නමුත් අපි වසර 5 ක දී රටේ සංහිදියාව ඇති කළා.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ විශාල ආගම්වාදී සහ ජාතිවාදී කෝලාහල ඇති වුණේ නැහැ. සියලූ දෙනා එකතු වී රටේ සාමය ආරක්‍ෂා කළා. සියලූ දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස පෙනී සිටියා. අද පළමුවෙන්ම නැගිට ජාතික ගීය ගායනා කරන්නේ උතුරේ ජනතාවයි. මා උතුරේ ගිය සෑම උත්සව අවස්ථාවකම එම ජනතාව ජාතික ගීය ගායනා කළා. නමුත් අවාසනාවකට දකුණේ ඇතැම් උත්සවවල ජාතික ගීය ගායනා කරන්නේ නැහැ.

    වසර 10 ක දී රටේ සංහිදියාව ඇති කිරීමට නොහැකි වූ අය දැන් නැවත සංහිදියාව ඇති කරන්නේ කෙසේද? 30% ක් වූ රටේ අපනයන ප්‍රමාණය රාජපක්‍ෂ ආණ්ඩුවේ වසර 10 ක කාලය තුළ 17% දක්වා අඩු වුණා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි කළා. අප බලයට පත්ව, නැවත ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබා ගෙන අපේ අපනයන ක්‍රමානුකූලව ඉහල නංවමින් සිටිනවා.

    වසර 10 ක කාලය තුළ රටේ අපනයනය ඉහළ නැංවීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුවට, නැවත රටේ අපනයනය ඉහළ නැංවීමට හැකියාවක් ලැබෙනවාද? ඔවුන්ගේ පාලන කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරතුමිය ඇදගෙන ගොස් පැය 24 කින් ධූරයෙන් පහකළා. ආණ්ඩුවට පක්‍ෂපාතී නොවන තීන්දු තීරණ ලබාදුන්නැයි කියා ඇතැම් අධිකරණ විනිශ්චයකාරවරු ඉවත් කළා. අපි වසර 5 ක් තුළ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඇති කළා. වසර 10 ක දී සිදු කළ නොහැකි වූ දේ මේ අය නැවත වසර 5 කින් කරන්න යනවාද, නැතිනම් අපි වසර 5 ක දී රට වෙනුවෙන් සිදු කළ දේ සම්පූර්ණයෙන්ම නැති කරන්න යනවාදැයි මා ප්‍රශ්න කරනවා.


    අග්‍රාමාත්‍යවරයා ලෙස මාව මාධ්‍යය ඔස්සේ කෙතරම් දෝශාරෝපණය කිරීමට නිදහස තිබුණත්, එදා ඔවුන්ට එරෙහිව කිසිවක් කියන්න අවස්ථාව තිබුණේ නැහැ. එදා මාධ්‍යයට සිදුව තිබුණේ ඔවුන්ගේ ගුණ ගායනා කර කර සිටීමටයි. එදා මාධ්‍යයට නොතිබූ නිදහස අපි වසර 5 ක් තුළ ලබා දී තිබෙනවා.


    එසේ නම් අපි වසර 5 කින් ඇති කළ දේ ආරක්‍ෂා කර ගන්නවා ද, නැතිනම් නැවතත් පරණ තැනටම යනවාදැයි මා ප්‍රශ්න කරනවා. ආර්ථිකය හදන්න බැරි අයට ආර්ථිකය හදන්න බාර දෙනවාද? අධ්‍යාපනයට, සෞඛ්‍යයට මුදල් වියදම් කරන්න බැරි වූ අයට සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණු කරන්නැයි බාර දෙනවාද? සුදු වෑන් එවූ අය ඒවා නතර කර වරද පිළිගන්නවාද, නැතිනම් එවා නැවතත් සිදු කරනවාද? ඇදුම් මාරු කළා කියා හෝ මුහුණු මාරු කළා කියා වෙනසක් සිදු වෙනවාද? මට කියන්න තිබෙන්නේ, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාම බවයි. කෙසේ බැද්දත් කොබෙයියා රාජාලියෙක් නොවන බව ජනතාව තෙරුම් ගත යුතුයි. එම නිසා වැඩ කළ හැකි අයට බාර දී එම වැඩ කොටස සම්පූර්ණ කළ යුතුයි. අපි වැඩ කළ හැකි බව ඔප්පු කර තිබෙනවා. එසේ නොවුණා නම් වගා හානිවූ ඔබ වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි මුදල් ලබාදීමට අපට හැකි වන්නේ නැහැ. මාගේ අදහස් සමග එකඟ වන අය මෙන්ම එකඟ නොවන අය ද සිටිය හැකියි. අද පවතින්නේ නිදහස් සමාජයක් බැවින් මා සිදු කළේ මගේ අදහස් ප්‍රකාශ කිරීමයි.”


    එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ වගා හානිවූවන් ඇතුලූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya