අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රටට අවශ්‍ය අනාගතය සුරක්‍ෂිත කරන්නෙකුයි- අග්‍රාමාත්‍ය

    අගෝස්තු 12, 2019

     රටට  අද අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    පසුගිය දා අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසූයේ ගතවූ වසර කිහිපය තුළ ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත්, ඔබේ අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ය.

    ඉහත දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
    බිම් මට්ටමේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයින් වන ඔබ සියලූ දෙනාගේ යෝජනා ලබාගෙන එම යෝජනා අනුමත කිරීමට අප කටයුතු කළා. පසුගිය වසරේ සිදු වූ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය හේතුවෙන් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. එම නිසා මෙම වර්ෂය තුළ බිම් මට්ටමේ සංවර්ධන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා ලබා ගැනීම අද සිදු කෙරෙනවා.

    එම යෝජනා ලබා ගෙන කල් නොමරා අදම අනුමැතිය ලබා දී ඉතා කඩිනමින් එම වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කරනවා. එම සංවර්ධන වැඩ කටයුතු සියල්ල සිදු කිරීම සඳහා අපට ඉතිරිව තිබෙන්නේ ඉතා කෙටි කාලයක් පමණයි.
    පසුගිය වසර 4 ක කාලය තුළ රටේ විශාල සංවර්ධනයක් සිදු කිරීමට අපට හැකි වුණා. ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වූ, මාධ්‍ය නිදහස අහිමි වූ, තාජුඩීන්ලාට ජීවිතය අහිමි කළ, සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මක වූ, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වූ, ලෝකයෙන් කොන් වූ, අධ්‍යාපන නිදහස අහිමි වූ, සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටුණු, නිතිය හා සාමය වල්බිහි වූ, සමෘද්ධි සහනාධාරය වැඩියෙන් ලබාදීමට නොහැකි වූ, ප්‍රාදේශීය සභා සභාපතිවරු ස්ත්‍රී දූෂණ කළ, අල්ලස් සහ දූෂණ සිදු වූ රටක් 2015 වසරේ අප බාරගත් බව බොහෝ දෙනාට අමතක වී තිබෙනවා.

    ඒ සියල්ල වෙනස් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, පාර්ලිමේන්තුව නිසි ලෙස ක්‍රියාත්මක කිරීම, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, මාධ්‍ය නිදහස ඇති කිරීම, සුදු වෑන් සංස්කෘතිය නැති කිරීම ඇතුලූ විශාල පරිවර්තනයක් රට තුළ ඇති කිරීමට අපට හැකි වුණා. අද මාධ්‍ය නිදහස කෙතරම් ද කියනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා වන මාව දිනපතාම සෑම නාළිකාවකින්ම විවේචනය කරනවා. එදා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තුළ හුදෙකලා වී තිබූ අතර රට පිළිබඳව විශ්වාසයක් නොමැති වීම නිසා විදේශ ණය ලබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක පැවතුණා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී එය ගොඩගැනීමට නොහැකි වූ නිසා නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට එදා පාලකයින් කටයුතු කළා.


    අද අප ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගා ස්ථාවර භාවයක් ඇති කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව වුවද ජාත්‍යන්තර අප රට කෙරෙහි තැබූ විශ්වාසය පළුදු වී තිබුණේ නැහැ. එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද කිසිඳු අපහසුවකින් තොරව ණය ආධාර ලබා ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකාව කෙරෙහි ජපානයේ පවතින විශ්වාසය නිසා පළමු වතාවට සමුරායි බැඳුම්කර මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා. අද විට අප අත්පත් කර ගෙන තිබෙන්නේ එවැනි තත්ත්වයක් බව කිව යුතුයි.

    අපි රටේ ආර්ථිකය දියුණු කළා. අලූත් ව්‍යාපාර ඇති කළා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබාගත්තා. සංචාරක ව්‍යාපාරය පුළුල් කර වැඩි සංචාරකයින්පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. අධිවේගී මාර්ග ඇතුලූ මාර්ග පද්ධතිය වැඩි දියුණු කළා. අප බලය ලබා ගන්නා විට ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබුණත් ඒවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණේ නැහැ. එම ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවීමට සිදු වුණේ අපටයි. වරාය අධිකාරියටම විශාල පාඩුවක්ව තිබූ හම්බන්තොට වරාය පාඩුවක් නොලබා පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයට දැන් පත් කර තිබෙනවා. කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. කොළඹ හා අවට ප්‍රදේශ නවීන පහසුකම්වලින් සපිරි මහා නගරයක් බවට පත් වෙනවා. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පමණක් නිවාස 21,000 ක් ඉදිකර තිබෙනවා.


    ග්‍රාමීය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමට සහ ග්‍රාමීය ආර්ථිකය නැංවීමට ‘ගම්පෙරළිය’ වැඩසටහන සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. එමෙන්ම ‘රන් මාවත්’ වැඩසටහන යටතේ ද ග්‍රාමීය මාර්ග නවීකරණය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර මේ වන විටත් එම කටයුතු සිදු කෙරමින් පවතිනවා.


    ''ළගම පාසල - හොඳම පාසල” වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි ඇතුලූ පහසුකම් වැඩි දියුණු කිරීම, වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පාසල් අධ්‍යාපනය නවීන තාක්‍ෂණයෙන් සන්නද්ධ කරමින් සුහුරු පන්ති කාමර සහ ටැබ් පරිගණක ලබා දීම, පාසල් ළමුන් වෙනුවෙන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය ලබාදීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීම, ඖෂධ මිල පහත හෙළීම, හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට් නොමිලේ ලබාදීම, රෝහල් සඳහා නවීන උපකරණ ලබාදීම ආදී පියවර ඔස්සේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇති කර තිබෙනවා.


    උදාගම්මාන ව්‍යාපාරය, වතුකරයේ ජනතාවට නිවාස ලබාදීම, උතුරු - නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස ලබාදීම වැනි වැඩසටහන් ඔස්සේ ජනතාවට නිවසක හිමිකම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙවැනි වැඩසටහන් ඔස්සේ රට නව යුගයකට ගෙන යාම අපේ බලාපොරොත්තුවයි. අද අපේ රටට පිළිගැනීමක් ලැබී තිබෙනවා. එම නිසා අපේ වැඩසටහන් ඔස්සේ ඔබට ඉතා හොඳ අනාගතයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඔබේ එම අනාගතය ආරක්‍ෂා කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

    ඔවුන් ඉදිරිපත් කරන කම්මුතු කරන්නා ආවොත් ආර්ථිකය කම්මුතුයි... සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, මහා
     නගර දියුණුව කම්මුතුයි. එසේ නම් කම්මුතු කරන්නෙකුට රට බාර දීමට සූදානම් දැයි මම ප්‍රශ්න කරනවා. නිවාස කම්මුතු කරන්නෙකුට, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය කම්මුතු කර රැකියා අවස්ථා කම්මුතු කරන්නෙකුට රට බාර දෙනවාද? පොහොට්ටුවට කෙතරම් සහාය ලබාදුන්නත් ඔබේ නිදහස කම්මුතු කරන්නෙකුට රට බාරදෙනවාදැයි මා විමසනවා. මට දෝෂාරෝපණය කරන ආකාරයට කම්මුතුකරන්නෙකුට දෝෂාරෝපණය කිරීමට හැකි ද?
    ඔබේ ජීවිතය ඔබ කම්මුතු කර ගන්නවාද, මේ රටේ අනාගතය කම්මුතු කරනවාද යන්න මා ඔබ සියලූ දෙනාගෙන් විමසනවා. කම්මුතුකාරයින්ට රට බාර නොදී රටත්, ඔබේ අනාගතයත් ආරක්‍ෂා කර ගැනීමට ක්‍රියා කරන්නැයි
    මා ඉල්ලා සිටිනවා.


    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya