අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය රාජකාරි අරඹයි

    අගෝස්තු 08, 2019

    ඛණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය අද (8) උදෑසන රාජකාරි ආරම්භ කළේ ය.

    ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍ය ධූරයේ වැඩභාරගනිමින් අනෝමා ගමගේ මහත්මිය සිදුකළ කතාවේදී සඳහන් කළේ, පසුගිය වසර 4 තුළ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, අමාත්‍යංශය සහ පර්යන්ත තොග තෙල් ගබඩාව එක්වී පිටට නොපෙනෙන සුවිසල් වැඩ කොටසක් සිදුකර තිබෙන බවය.

    පසුගිය සතිය ඇතුළත වසර 70ක් පැරණි අගල් 12 නළ පද්ධතිය අවට පදිංචිකරුවන් ඉවත් කරගනිමින් සාර්ථකව අලුත්වැඩියා කරගැනීමට හැකිවූ බවත්, මෙම අලුත්වැඩියාවෙන් පසු මෙම නළ භාවිතය නිසා එක් නැවක් පැමිණි පසු මිලියන 6.3ක ඉතිරියක් ලැබිය හැකි බවත් ඇමැතිවරිය සිහිපත් කළාය.

    මෙහිදී නැවෙන් ඉන්ධන ගොඩබෑමට ගතවන කාලය ඉක්මන් වීමද වාසියක් වන අතර සාමාන්‍යයෙන් වසරකට නැව් 80ක් පමණ පැමිණීම නිසා මිලියන 504ක පමණ මුදලක් ද ඉතිරි කරගැනීමට හැකියාවක් පවතී. මෙය රට වෙනුවෙන් ඔවුන් සිදුකල විශාල ඉතිරියක් බව පැවසූ ඇමැතිවරිය, නිවාස 20ක පදිංචිකරුවන් හට මිලියන 80ක් ගෙවූ බවත්, ඉදිරියේදී පදිංචිකරුවන් 280ක් වෙනුවෙන් තවත් මිලියන 110ක් ගෙවීමට තීරණය වී ඇති බවත් පවසා සිටියාය.

    මෙම සියලු වියදම් ගෙන බැලීමේදී භාණ්ඩාගාරය හෝ සංස්ථාව ගෙවූ මුදල වසරක් ඇතුළත රජයට නැවත ලබාදෙන බව ඇය මෙහිදී අවධාරණය කළේය. පසුගිය වසරේදී හයිලැක්ස් සමාගම සමග එක්වී ඇමර්කානු ඩොලර් මිලියන 13ක වටිනාකමකින් යුත් නව ලිහිසිතෙල් නිෂ්පාදනාගාරයක් ඇරඹා ඇති අතර මෙය නවීනතම නිෂ්පාදනාගාරයක් වීම හේතුවෙන් මෙහි වැඩ ඇරඹීමත් සමඟ ලිහිසිතෙල් අලෙවි කිරීමේ පළමු ස්ථානයට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පත්වනු ඇතැයි අපේක්ෂිතය.

    එමෙන්ම වසර ගණනාවක සිට සූදානමින් සිටි දැනට අවසන් අදියරේ පවතින cross country pipe line  වැඩසටහන යටතේ වැඩ ඇරඹූ පසු තෙල් ගොඩබෑම දින 2ක් හෝ 3ක් වැනි කෙටි කාලයක් තුළ කරගැනීමට හැකි වන අතර එමගින්ද රටට විශාල ඉතිරියක් සිදුකරගත හැකියි. Jet A 1 ගුවන්යානා තෙල් ලංකාව වෙළදපොළට ගෙන්වූ පසු පරීක්ෂාවන්ට භාජනය කර ඒවායේ අපද්‍රව්‍ය ඇතිනම් එම තෙල් ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙනවා. එම නිසා මෙයට පිළියමක් වශයෙන් නව පෙරණ පද්ධතියක් ගෙන්වා ඇති අතර එමනිසා අප රට තුළට ගොඩබාන සියලු ගුවන්යානා ඉන්ධන මෙම පෙරණ පද්ධතිය හරහා පෙරීමකට ලක්කර ඉන් අනතුරුව ඇතුළට ගැනීම සිදුකරනවා. මෙය විශාල වාසියක් මෙන්ම විශාල ඉතුරුවක්ද මෙමගින් හිමි වෙනවා.

    වසර පහකට පසු තාර නිෂ්පාදනයද අරඹා ඇති අතර මෙය අද වන විට දිනකට මෙට්‍රික් ටොන් 75 – 100 ත් අතර නිෂ්පාදනයක් සිදුකරමින් තොග වශයෙන් ලබාදීම සිදුකරයි. කොලොන්නාවේ ඇති ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙට්‍රික් ටොන් 15000ක ධාරිතාවයකින් යුතු ටැංකි නිෂ්පාදනය අරො ඇති අතර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පළමු ටැංකිය භාවිතයට ගත හැකි වන පරිදි නිපදවා අවසන් කිරීමටද ඉතිරි ටැංකි 6හි නිෂ්පාදන කටයුතු ලබන වසර තුළදී නිමවා එම වසර තුළ ඒවාද භාවිතයට ගැනීමටද අපේක්ෂිතය.

    මෙලෙස නොපෙනෙන මෙහෙවර විශාල ප්‍රමාණයක් ඛණිජ තෙල් සංස්ථාවේ දියුණුව පිණිස මෙම රජය විසින් සිදුකර ඇති බව පැවසූ අමාත්‍යවරිය, මේවා හුදෙක් මාධ්‍ය සංදර්ශන හෝ රූපවාහිනිය ඔස්සේ සිදුකළ දේවල් නොවන බවත් රටේ ආර්ථිකය සහ නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ කර්තව්‍යයන් බවත් ප්‍රකාශ කරන ලදී.

    අවසන් වශයෙන් අමාත්‍යවරිය පවසා සිටියේ, ඉදිරියේදී ද මීටත් වඩා දියුණු සංවර්ධන වැඩසටහන් ඛණිජ තෙල් නිධි කැණීම් අංශය ඔස්සේද සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya