මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක 20කට ආසන්නව වියළි කාළගුණ තත්ත්වයක්

    අගෝස්තු 02, 2019

    රටෙහි මේ වන විට පවතින කාලගුණික තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ දිස්ත්‍රික්ක 20කට ආසන්න ප්‍රමාණයක වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

    නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක රැසක මෙම තත්ත්වය පවතින අතර වැඩිම පිරිසක් පීඩාවට පත්වී සිටින්නේ උතුරු පළාත, යාපනය, කිළිනොච්චිය, මුලතිවු, මන්නාරම සහ වවුනියාව යන ප්‍රදේශ වලින් බවත් වැඩිදුරටත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
    එමෙන්ම පානීය ජල ගැටලු ඇති ස්ථාන වල පානීය ජල ගැටලු විසදීම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් කටයුතු කරයි. මීට
    අමතරව මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමනිලධාරීවරුන් සහ සියලු ජලාප්‍රවාහන මණ්ඩලයන් අවශ්‍ය කටයුතු කිරීම සිදුකරයි. මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර පානීය ජල ගැටලු ඇති පිරිස වනුයේ පුද්ගලයින් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයකි. පානීය ජල ගැටලු හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙත එම ජලය ලබාදීමේ කටයුතු මේ වන විට සිදුවන අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් එක්ව එම පිරිස් වෙත වතුර බවුසර් 600කට ආසන්න ප්‍රමාණයක් සහ ජල ටැංකි 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සියලු දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ආවරණය වන පරිදි ලබාදී ඇත.

    මේ වන විටත් සියලුම ප්‍රතිපාදනයන් අඛණ්ඩව ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර ඇත. මිලියන 60කට වැඩි මුදලක් ඒ ඔස්සේ ඔවුන් වෙත අඛණ්ඩව සපයා ඇති අතර ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම මුදලක් මේ වෙනුවෙන් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටියි.


    විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පානීය ජල ගැටලු ඇති ස්ථාන වලින් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති ස්ථාන ඇත්නම් 117 දුරකතන අංකය ඔස්සේ සම්බන්ධවී එම ගැටලු යොමුකරන ලෙසයි. මීට අමතරව පානීය ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


    මෙම දින කිහිපය තුළ තවත් ගැටලුකාරී සිද්ධියක් ලෙස කැලෑ ගිනි තැබීම් විශාල වශයෙන් වාර්තා වුණු අතර පෙරේදා දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේත්, ඊයේ මොණරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකද ඇතුළුව දිස්ත්‍රික්ක රැසකද මෙම කැලෑ ගිනිතැබීම් වාර්තා විය. විශේෂයෙන්ම මෙම ගිනි නිවීමේ කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, වනජීවී නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ සහාය තමන්වෙත නොඅඩුව ලැබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    මෙම කැලෑ ගිනිතැබීම් හේතුවෙන් අක්කර විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගිනිතැබීම් වහාම නවත්වා කැලෑ ආරක්ෂා කරගැනීමට කටයුතු කරනා ලෙසයි. වනාන්තර වල වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි නිලධාරීන් විසින් සියලු පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා දී ඇත.

    එමෙන්ම 117 දුරකතන අංකය ඔස්සේ ලැබෙන සියලු ඇමතැමක්ම සම්බන්දයෙන් සක්‍රීයවී කටයුතු කරන බවත්, ඒ අනූව කැලෑ ගිනිතබන්නන් නීතිමය රැහැනට හසුකරගැනීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වසර ගණනාවක සිට අවස්ථා රැසකදී මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස ක්‍රියා කල බවත් ඔවුන් පවසන අතර මෙම ගැටලුව විසදීම සදහා ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් වැඩිදුරටත් කියා සිටියි.

    මෙම වනාන්තර ආරක්ෂා කරගැනීම තුළින් ආපදා අවම කරගැනීමට හැකියාවක් ලැබෙන අතර ඊයේ සහ පෙරේදා දින දෙක තුළදී ගුවන් හමුදා හෙලිකොප්ටර් උපයෝගී කරගනිමින් බලංගොඩ නන්පේරියල් වතු ප්‍රදේශයේ කැලෑ ගිනි නිවීමේ කටයුතු සිදුකර ඇත.මේ සදහා විශාල පිරිවැයක්ද යෙදීමට සිදුවී ඇත.

    වනාන්තර ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් වන අතර යම් හෙයකින් කිසියම් ගැටලුකාරී අවස්ථාවක් දුටුවහොත් හෝ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලදහොත් වහාම 117 දුරකතන අංකය අමතා ඒ පිළිබදව දැනුම් දීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya