අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධාගමික ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 8000 කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා

    ජූලි 11, 2019

    විවිධ බෞද්ධාගමික ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 8000 කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. බෞද්ධයෙක් ලෙස මෙතරම් මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කිරීමට හැකිවීම පිළිබඳ මම සතුටට පත් වෙනව යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවය මගින් ''සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද” යන ගෞරව නාම සහිතව කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් 06 දින වාද්දුව, මොල්ලිගොඩ, දෙගම්බද ඓතිහාසික ශ්‍රී මහා විහාරයේ පැවැති පිළිගැනීමේ පුණ්‍ය මහෝස්ත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

    අද කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්ව සිටින බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ ගැන මා අලූතෙන් කරුණු සඳහන් කළ යුතු නැහැ. උන්වහන්සේ මෙලෙස සංඝනායක ධූරයට පත් කිරීම ගැන මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සභාවට අපේ ස්තූතිය හා ගෞරවය පුද කර සිටිනවා.


    වාද්දුවේ මොල්ලිගොඩ සංඝ පරම්පරාව පිළිබඳව ඉතිහාසයේ මීට පෙරත් සඳහන් වී තිබෙනවා. පහතරට සංඝ පරම්පරාව ආරම්භ කළ බෙන්තර මහා ස්ථවිරයන් වහන්සේගෙන් උන්වහන්සේලා පැවැත එනවා. මේ විහාරස්ථානය පිහිටා තිබෙන ඉඩමේත් විශේෂ වටිනාකමක් තිබෙනවා. එකළ ලංකාවේ සිටි එඩ්.වඩ්. බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් මෙම භූමිය පූජා කර තිබෙන්නේ විහාරස්ථානය වෙනුවෙනුයි. ඒ ඉතිහාසය මත පදනම්ව අද බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ සංඝ නායක තනතුරක් ලබාගනිමින් ශාසනය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.


    අපේ නායක ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයට, විදුහල්පතිවරයෙකු ලෙස ගුරු සේවාවට, පිරිවෙන් ක්ෂේත්‍රයට විශාල සේවයක් සිදු කර තිබෙනවා. මේ කරුණු පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. මේ ප්‍රදේශයේ ජීවත් වන ඔබ මට වඩා හොදින් ඒ පිළිබඳව දැනුම්වත් වී සිටිනවා. බෝපිටිය ධම්මිස්සර මහා නායක ස්වාමීන් වහන්සේ මට පළමුවෙන් මුණගැසුණේ 1977 වසරේදීයි. 1977 වසරේ මහමැතිවරණයට මම අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වන විට උන්වහන්සේ අපේ දේශපාලන වේදිකාවල කථිකයෙක් ලෙස දේශන පැවැත්වූවා. එදා සිට උන්වහන්සේ සහ මා අතර ඇති සම්බන්ධය අපි ආරක්‍ෂා කර ගෙන තිබෙනවා. ආගමික වැඩකටයුතුවලදීත්, දේශපාලන සහ සමාජ සේවා වැඩකටයුතුවලදීත් මට උන්වහන්සේ මුණගැසෙනවා.


    උන්වහන්සේ එක්සත් ජාතික පක්‍ෂයේ භික්‍ෂු පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරනවා. එම නිසා උන්වහන්සේ විටින් විට පැමිණ මා සමඟ සාකච්ඡා කරනවා. අවශ්‍ය උපදෙස් ද නිරතුරුව මා වෙත ලබාදෙනවා. ඒ උපදෙස් මිල කළ නොහැකියි. ඒ පිළිබඳව මම මගේ ස්තඣතිය උන්වහන්සේට පිරිනැමීමට කැමැතියි.


    ඒ උපදෙස් මත පසුගිය කාලපරිච්ජේදය තුළ අපේ ආණ්ඩුව බෞද්ධ කටයුතු
    අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඇතුළු රටේ විවිධ අමාත්‍යංශ යටතේ විවිධ බෞද්ධාගමික ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 8000 කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. බෞද්ධයෙක් ලෙස මෙතරම් මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කිරීමට හැකිවීම පිළිබඳ මම සතුටට පත් වනවා.

    සංඝයා වහන්සේලාට ආධාර උපකාර කළ යුතු ආකාරය පිළිබඳව, විවිධ වැඩකටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව මට උපදෙස් ලබාදෙන සංඝයා වහන්සේලා අතුරින් බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ ප්‍රධාන තැනක් ගන්නවා. අද නාගරික විහාරස්ථාන දියුණු කිරීමට හැකි වුණත් ඈත පළාත්වල ග්‍රාමීය විහාරස්ථාන දියුණු කරන ආකාරය පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. රටේ විවිධ පළාත්වල විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කරන අතරම, ඊට සමගාමීව එම ගම්මාන ද දියුණු කිරීමටත් අපේ රජය යටතේ කටයුතු කරනවා.


    සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනතාවට නිවාස ඉදිකර දෙනවා. එක් අමාත්‍යවරයෙක් මහා මාර්ග ඉදිකර දෙන අතර, තවත් අමාත්‍යවරයෙක් ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ වැඩකටයුතු සිදු කරනවා. මේ ආකාරයට අපේ රජය යටතේ ගමත්, විහාරස්ථානයත් දියුණු කිරීම සිදු කරනවා.


    උන්වහන්සේගේ සහ මා අතර තිබෙන ශක්තිමත් සබඳතාවය නිසා අපේ රජයට බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකිරීමට හැකිවීම පිළිබඳව මම ආඩම්බරයට පත් වනවා. වෙනත් කිසිම ආණ්ඩුවක් වෙන් නොකළ තරම් මුදල් ප්‍රමාණයක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් අපේ ආණ්ඩුව ලබාදී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ එදා මගේ විමධ්‍යගත අරමුදලින් මම පළමුවෙන්ම බියගම දහම් පාසැල වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදුන්නා. ආණ්ඩුවේ මුදල් වෙන් කිරීම මම ආරම්භ කළේ ඒ ආකාරයටයි. ඒ කාලයේ ගුණහේන ජෝතිපාල නායක ස්වාමීන් වහන්සේ සමඟ කිට්ටු සබඳතාවයක් පවත්වා ගනිමින් දහම් පාසැල් කටයුතු දියුණු කිරීමට අපි කටයුතු කළා.


    බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ සිංහලයෙක්, බෞද්ධයෙක්, එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් මෙන්ම ශ්‍රී ලාංකිකයෙක්. එම කාණ්ඩ හතරටම උන්වහන්සේ අයත් වෙනවා. වාද්දුව, පානදුර ප්‍රදේශයන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ඇතිවීමේදී විශාල සේවාවක් සිදු කළ ප්‍රදේශ ලෙස හැදින්විය හැකියි. මාතර සිට කොළඹ දක්වා ඇති වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් ලෙස පානදුර හැදින්විය හැකියි. මේ ප්‍රදේශයේ සිංහල, බෞද්ධ ජනතාව එම බෞද්ධ ප්‍රබෝධයට විශාල නායකත්වයක් සැපයූවා.

    අද රටක් ලෙස අපි විශාල ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ ව්‍යවස්ථාව තුළින් රටේ ප්‍රමුඛ ආගම ලෙස බුද්ධාගමට මූලිකත්වය ලබාදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අපට පමණක් අයිති දෙයක් නොවේ. එය සමස්තලෝකයටම අයිති දෙයක්. එම ධර්මය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට අපසහයෝගය ලබාදිය යුතුයි. ඒ වගේම තෙරුන් වහන්සේලාගේ ධර්මය විසින් ශ්‍රී ලංකාවේ මහා විහාරය ආරක්‍ෂා කිරීම පිළිබඳව අපි ආඩම්බර විය යුතුයි.එක් කාලයක අපි උපසම්පදාව ඇති කිරීම සඳහා සියම් දේශයෙන් අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල භික්‍ෂුන් වහන්සේලා මෙහි වැඩම කරවා ගත්තා. එම සංඝ පරපුර අපි හැදින්වූයේ ශ්‍රී ලංකාවේ සංඝ පරපුර ලෙසයි. ඊට හේතුව උන්වහන්සේලා ශ්‍රී ලංකාවේ මහා විහාරයෙන් එම රටවල්වලට සංක්‍රමණය වූ ස්වාමීන් වහන්සේලා වීමයි. නැවතත් මෙරටට වැඩම කළේ උන්වහන්සේලායි. සිංහල බෞද්ධයන් ලෙස අපට එම ඉතිහාසය අමතක කළ නොහැකියි.

    අපේ රටේ ධර්මය ආරක්‍ෂා කර ගැනීමට අපට යුතුකමක් තිබෙනවා. නමුත් රටේ වෙනත් ජාතිකයන් සහ ආගමිකයන් සමග ජීවත්වීමත් අප සිදු කළ යුතුයි. පණ්ඩුකාභය සහ දුටුගැමුණු රජවරුන්ගේ කාලයේ සිට අප මෙය සිදු කරගෙන ඉදිරියට පැමිණියා. අපි නියම ශ්‍රී ලාංකිකයන් බවට පත් වන්නේ ඒ ආකාරයට එකට එක්වී ක්‍රියා කිරීම හරහායි.

    මා මෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේත් අපි සියලූ දෙනාම එකට වැඩකළ යුතුයි යන්න පිළිගන්නවා. 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ත්‍රෛනිකායික සංඝ ප්‍රකාශනයෙන් ද සඳහන් කරන්නේ එයයි. ශ්‍රී ලංකාවේ අපිට ඕනෑම ජනතාවක් සමග ජීවත්විය හැකි යැයි අපි ලෝකයට පෙන්විය යුතුයි. බුද්ධ ධර්මය පිළිගත හැකි ධර්මයක් දැයි ජාත්‍යන්තරය තීරණය කරන්නේ බුද්ධ ධර්මය ක්‍රියාත්මක වන අපේ රටේ ජනතාව හැසිරෙන ආකාරයෙන් බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.

    ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ආදී රටවල්වල අපේ ධර්මය අදහන පිරිස් සිටිනවා. එවැනි වෙනස් ධර්මයක් අදහන පුද්ගලයන්ට ඒ ඒ රටවල්වල කරදරයක්, ගැටළුවක් ඇති වන්නේ නැහැ. එසේ නම් ශ්‍රී ලංකාවේ සිදුවන තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි අපේ ධර්මය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යන අතරම, ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම දෙනා සමග සමගියෙන් සංහිදියාවෙන් ජීවත්වීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය වන්නේ එයයි. ඩී.එස්. සේනානායක මැතිතුමා ඉදිරිපත් කළේ ජාතිකත්වය පිළිබඳ එම සංකල්පයයි. උදාහරණයක් ලෙස එංගලන්තය ප්‍රමුඛත්වය දෙන්නේ ඉංග්‍රීසි සභාවටයි. අපේ රටේ ඕනෑම කෙනෙකුට ජනාධිපතිවීමට හැකි වුණත් එංගලන්තයේ රජු හෝ රැජිණවීමට ඉංග්‍රීසි සභාවට අයත් විය යුතුයි. ඉංග්‍රීසි සභාව ආරක්‍ෂා කර ගැනීම ඔවුන්ගේ යුතුකමයි. නමුත් එංගලන්තය ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් සීමා වී නැහැ. ස්කොට්ලන්ත ජාතිකයන්, වෙල්ස් ජාතිකයන් මෙන්ම අයර්ලන්ත ජාතිකයන් ද එම රටේ සිටිනවා. ඔවුන් සියලූ දෙනාම එක්ව ජීවත් වෙනවා. ඊට අමතරව දකුණු ආසියාව, අරාබිය, පෝලන්තය, අප්‍රිකාව, බටහිර කොදෙව් ආදී රටවලත් ජනතාව එංගලන්තයට සංක්‍රමණය වී තිබෙනවා. වර්තමානයේ ඔවුන් සියලූදෙනාම ඒකාබද්ධ රාජධානියක ජනතාව ලෙස ජීවත් වෙනවා.

    මෙම ක්‍රමය අප උදාහරණයක් ලෙස ගත යුතුයි. නායක ස්වාමීන් වහන්සේත් මමත් දරන්නේ එකම මතයක්. මා මෙහිදී මේ පිළිබඳව අදහස් පළ කළේ එම නිසායි. අද අපි මෙම උත්සවය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය වූ පානදුර, වාද්දූව ප්‍රදේශයේයි. පානදුරාවාදය ආදිය පැවැත්වුණේ මෙම ප්‍රදේශයේදීයි. එම නිසා බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් අප කරගෙන යන වැඩකටයුතු ඉදිරියටත් සිදු කරන බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.


    බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව, බුද්ධ ශාසනයේ දියුණුව ඊට අවශ්‍ය ආධාර උපකාර ආදී මේ සියලූ දේ ඉදිරියේදීත් අපි ලබාදෙනවා. නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව මේ වන විට ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා සමග අපි සාකච්ඡා කර තිබෙන බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

     එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, කථානායක කරූ ජයසූරිය, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කැබිනට් නොවන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරො යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ දායක දායිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya