ජූලි 16, 2019
tami eng youtube  twitter facebook
    logo

    රට ණය බරින් මිරිකෙන විට මීට පෙර සිටි පාලකයන් මෙන් පාලන බලය අතහැර පලා යන්නට අපේ ආණ්ඩුවේ කිසිවෙකුටත් අවශ්‍ය වුණේ නැහැ-අගමැති

    ජූනි 26, 2019

    රට ණය බරින් මිරිකෙන විට මීට පෙර සිටි පාලකයන් කලාක් මෙන් පාලන බලය අතහැර පලා යන්නට අපේ ආණ්ඩුවේ කිසිවෙකුටත් අවශ්‍ය වුණේ නැහැ.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් ලෝකයේ බොහෝ රටවල් සහ බොහෝ පුද්ගලයන් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තැබුවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     මුතුරාජවෙල අභිනවයෙන් ඉදිකළ සිපෙට්කෝ ලිහිසි තෙල් මුසුකිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උත්සවයට  පසුගිය දා සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

    හයිරැක්ස් ලිහිසි තෙල් කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවට පැමිණිම ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. මෙවැනි කර්මාන්ත ශාලා අපේ රටට පැමිණීම ශ්‍රී ලංකාවේ කාර්මික නවීකරණයේ කොටසක් ලෙස හැදින්විය හැකියි. මේ ආකාරයට දේශීය විදේශීය ආයෝජන හරහා අපි ඉදිරියට යනවා නම් අපට ඉන් ප්‍රයෝජන ගත හැකියි. මෙවැනි කර්මාන්ත ශාලා අතීතයේ යටත් විජිත පාලන සමයේ සිට මෙරට පැවැතුණා.


    ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළ සමඟ එකතු වෙමින් සැබෑ කර්මාන්තකරණයට පිවිසුනේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රමවේදයත් සමගයි. ඒ කාලයේ මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව වැනි මේ සියලූම රටවල් සිටියේ එක් මට්ටමකයි. නමුත් වසර 30 ක යුද්ධය හේතුවෙන් අපේ රට යම් පසුබෑමකට ලක් වුණා. ඒ අතර කාලයේ සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ඉදිරියට ගියා. යුද්ධය අවසන් වන කාලයේදී වියට්නාමය වැනි රටවල් අප ආසන්නයට පැමිණ සිටියා.


    චීනය 1978 දී ශ්‍රී ලංකාවට පැමිණ අපේ ආයෝජන කලාප ආදර්ශයට ගනිමින් චීනයේ ආයෝජන කලාප ඉදිකිරීම ආරම්භ කළා. අද ලෝකයේ විශාලම ආයෝජන කාලාප පිහිටා තිබෙන්නේ චීනයේයි. යුද්ධය අවසන් වීමෙන් පසුව වුවත් අප රටක් ලෙස ඉදිරියට ගියේ නැහැ. යුද්ධයෙන් පසුව රට පාලනය කළ පාලකයින් රට පාලනය කළේ විදෙස් ණයවලින් පමණක් රට සංවර්ධනය කළ හැකි යන මතයේ සිටයි. ඒ ආකාරයට රටක් ඉදිරියට ගෙන යාමට නොහැකියි.


    2014 වන විට අපේ රටට ණය ගෙවීමට හෝ ණය ගැනීමට ශක්තියක් තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව රට භාරගත්තේ එවැනි පසුබිමකයි. අප රට භාරගත් පළමු අවුරුද්දේ ඉතා අපහසුවෙන් ණය ගෙවන අතරම, සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමටත් කටයුතු කළා. ඉන්පසුව අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා අපහසුවෙන් හෝ ණය ගෙවීමට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට හැකි වුණා. රට ඉදිරියට ගෙන යෑමේ විශ්වාසය ඉන් පසුව අපට ඇති වුණා.


    පසුගිය මාස 02 ක තුළ අපට ඩොලර් මිලියන 2000 ක් අවශ්‍ය වුණා. එම මුදල ඇමරිකාවෙන් ලබාගැනීමට අප තීරණය කළා.ඇමරිකාවෙන් එම මුදල් ඉල්ලන්නට එපා පාස්කු ප්‍රහාරයෙන් පසු කිසිදු රටක් අපට එවැනි විශාල මුදලක් දෙන්නේ නැහැ යැයි ඇතැමුන් පැවසුවා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් ලෝකයේ බොහෝ රටවල් සහ බොහෝ පුද්ගලයන් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තැබුවා. හෙට උදෑසන වන විට අපිට හොද පිලිතුරක් ලැබෙන බව මා විශ්වාස කරනවා.ඒ පිළිබඳව මම ඔවුන්ට ස්තූතිවන්ත වනවා. ඉදිරි මාස කිහිපයට අවශ්‍ය ණය මුදල් අපට ලැබී තිබෙන්නේ විවේචන එල්ල වෙමින් හෝ රට දියුණු කිරීමට අප ගත් පියවර නිසයි.


    රට ණය බරින් මිරිකෙන විට මීට පෙර සිටි පාලකයන් කලාක් මෙන් පාලන බලය අතහැර පලා යන්නට අපේ ආණ්ඩුවේ කිසිවෙකුටත් අවශ්‍ය වුණේ නැහැ. මීට පෙර රටේ ජනතාව ණය බර නිසා බොහෝ සේ දුක්වින්දා. නමුත් අප රට භාරගැනීමෙන් පසුව අවශ්‍ය අංශ වෙත අපහසුවෙන් හෝ මුදල් වෙන් කළා. ඒ අනුව ක්‍රමයෙන් රට ගොඩනැගීමට අප කටයුතු කළා.


    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන සහ සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන ආදිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට, නොමිලයේ ස්ටේන්ස් ලබාදෙමින් ඖෂධ මිල පාලනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට අපි කටයුතු කළා. ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමට, නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකර දීමට අපට හැකි වුණා. නුවර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට අපි සැලසුම් සකස් කළා.


    මේ වනවිට හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළත් සංවර්ධනය කිරීමේ සැලසුම් අපි සකස් කර අවසන්. මේ ප්‍රධාන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත කලාප ඉදිකරනවා.
    මෙවැනි විශාල ව්‍යාපෘති ඉදිකිරීමේදී ඒවායේ ප්‍රගතිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. කබීර් හෂීම් ඇමැතිතුමා පැවසු ආකාරයට එතුමා මෙම වැඩසටහනට මුල්ගල තබා තිබෙන්නේ 2003 වසරේදීයි. වසර 16 ක් ගත වුණත් මීට පෙර සිටි පාලකයන්ගේ ක්‍රියා කලාපයන් නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා. නමුත් බියගම ආයෝජන කලාපය ආයෝජනවලින් පිරවීමට මට වසර 10 ක් වත් ගත වුණේ නැහැ. කොග්ගල, කටුනායක, සීතාවක ආයෝජන කලාප ආයෝජනවලින් සම්පූර්ණ කිරීමට අපට විශාල කාලයක් ගත වුණේ නැහැ. එදා ඒ ආකාරයට අපි ආයෝජකයන් තුළ විශ්වාසය ඇති කළා.


    අද අප ආරම්භ කළ මෙම වැඩකටයුත්ත නිසා මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉදිරියටත් සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් හෝ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයෙන් පමණක් ජීවත්වීමට කල්පනා කරන්නේ නැහැ. නවීන රැකියා සඳහා යොමුවීමට ඔවුන්ට දැන් හැකියාව තිබෙනවා. එවැනි නවීනත්වයකට යෑම ඔබේ අයිතියක්. පත්වන ඕනෑම ආණ්ඩුවකින් එය ඔබට ඉල්ලා සිටිය හැකියි.


    රටට හොඳ ආදායමක් ලැබෙන්නේ අපනයන වෙළඳපොළක් නිර්මාණය කර ගන්නවා නම් පමණයි. ඉදිරි වසර 05 තුළ සීඝ්‍ර ආර්ථික නවීකරණයක් ඇති කිරීම අපේ අරමුණයි. ඒ හරහා රට තුළට තාක්‍ෂණය පදනම් වූ කර්මාන්ත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවැනි කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයන් අවම වැටුප් ලබන්නන් නොවෙයි. ඔවුන් අවශ්‍ය දැනුමෙන් පොහොසත් හොඳ වැටුපක් ලබන සේවකයන් බවට පත් වනවා. මෙවැනි කර්මාන්ත ශාලාවක වසර 05 ක් පමණ සේවය කළ විට ලෝකයේ පිළිගත් ඕනෑම ආයතනයක සේවය කිරීමට තරම් සුදුසුකමක් ඔවුන්ට ඇති වෙනවා. සංචාරක හෝටල් ඉදිකිරීමට, තොරතුරු තාක්‍ෂණය පදනම් වූ ව්‍යාපාර ආරම්භ කිරීමට, කොළඹ වරාය දියුණු කරමින් ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධානතම නැව් ගමනා ගමන මධ්‍යස්ථානය බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මෙම සංවර්ධන සැලසුම් අපි සීඝ්‍රයෙන් ක්‍රියාවට නැංවිය යුතුයි. අපේ රජය විසින් මෙම වැඩකටයුතු සිදු කරනවා.


    මේ වනවිට ආයෝජන කලාප ඉදිකිරීමට රට පුරා අක්කර 12,000 ක් 15,000 ක් පමණ වෙන් කර තිබෙනවා. හම්බන්තොට, බිංගිරිය, කළුතර ආදී ප්‍රදේශ රැසක මෙම කර්මාන්ත කලාප ඉදිකරනවා. ගාල්ල නගරයේ සංචාරක කලාපය තුළ සංචාරක හෝටල් 15 ක් පමණ ඉදිවෙනවා. මේ සියල්ල සඳහා ආයෝජනය කිරීමට දේශීය ආයෝකයින්ට දැනුම, තාක්‍ෂණය සහ වෙළෙඳපොළ හැකියාව යන අංශයන්වල යම් අඩුවක් තිබෙන බව අප පිළිගත යුතුයි. එම නිසා විදේශීය ආයෝජකයන්ද ගෙන්වා ගැනීමට සිදු වෙනවා. පසුගිය වසරේදී ආයෝජකයන් මෙරටට පැමිණීම පිළිබඳව යම් ගැටළුවක් තිබුණා.

    බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් මා සමග පැවසූවේ මෙරට ආයෝජනය කිරීමට බෝම්බ ප්‍රහාරය ගැටළුවක් නොවන බවයි. තමන් ආයෝජනය කරන අනෙක් රටවල්වලත් බෝම්බ පිපිරීම සිදු වෙනවා. නමුත් ගැටළුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින නීතිය පිළිබඳවයි. ශ්‍රී ලංකා නීතිය යටතේ ඕනෑම මොහොතක පුද්ගලික ආයෝජන රජයට පවරා ගැනීමට හැකියාව තිබෙන බව ඔවුන් මා සමග පැවසුවා.


    චීනය, වියට්නාමය වැනි රටවල්වල තමන්ගේ ව්‍යාපාර රජයට පවරා ගන්නේ නැති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව තුළ පමණක් තමන්ගේ ව්‍යාපාර රජයට පවරා ගන්නා බවත්, ඔවුන් මා සමග පැවසුවා. එවැනි ක්‍රියාවකට කවුරුවත් කැමැති නැහැ. එම නිසා ආයෝජකයන්ට විශාල බාධාවක් වන ඌණ ක්‍රියාකාර ව්‍යාපාර පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අපි කටයුතු කළා.


    එම පනත අහෝසි කිරීමෙන් පසුව පසුගිය බදාදා මා හමුවීමට මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං ආදී රටවල් වලින් විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණ සිටියා. මේ ආකාරයට විදෙස් ආයෝජන සමග ලෝක වෙළෙඳපොළට පිවිසීමට අපට හැකියාව ලැබෙනවා. ඒ හරහා රටට හොඳ ආදායමක් ලැබෙනවා. රටේ තරුණ තරුණියන් බලාපොරොත්තු වන අනාගතය අපි ඔවුන්ට ලබා දිය යුතුයි. දේශපාලනය තුලින් එකිනෙකාට බැණ ගනිමින් රට දියුණු කිරීමට නොහැකියි. රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු දේ කරනවා නම් ඒ වෙනුවෙන් අපට චෝදනා කළත් කමක් නැහැ. රටේ අපහසු කාලයේ ගත යුතු සුදුසුම පියවර ගනිමින් ඉදිරියේදී රට සීඝ්‍ර දියුණුවකට ගෙන යෑම අපේ බලාපොරොත්තුව බව මම අවසාන
    වශයෙන් ප්‍රකාශ කරනවා.
    එම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, මෙරට මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි (Mr. Tan Yang Thai), හයිරැක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඩැටෝ හසීමන් සයිහුඩින් (Mrs. Dato Hazimah Zainuddin) යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya