ජූලි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පක්ෂ විපක්ෂ ආශිර්වාදය ලැබීම අනාගත පරපුර ලැබූ ජයග්‍රහණයක්- කතානායක

    ජූනි 19, 2019

    දිගු කළක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මි‍දී රුපියල යළි ශක්තිමත් වෙමින් තුබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ඨතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය අප මාතෘ භූමිය වසර ගණනාවක් ආපස්සට ඇද දැමූ නමුත් ජාතින් අතර සමගිය සහජීවනය තුළින් එම අභියෝගයන් ජය ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

    ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට‌ පක්ෂ විපක්ෂ සහය ලැබීම පටු දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එකඟත්වයකට පැමිණි වැදගත් අවස්ථාවක් බවත් එතුළින් අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ජනිතකර ඇති බවද කරු ජයසූරිය මහතා පැවසීය.

    ඊළඟ පරපුරට අප විඳි අමිහිරි අත්දැකීම් වලින් තොර නිදහස් සමෘධිමත් දේශයක් උරුම කර දීමට මෙම ප්‍රවේශය තුළින් හැකිවනු ඇති බව තම විශ්වාසය බවද හෙතෙම සඳහන් කළේය. ලෝකයේ දියුණු සෑම රටක්ම අත්පත් කරගත් ජයග්‍රහණ පිටුපස තිබෙන රහස ජාතික හා ආගමික සමඟිය තුළින් ගොඩනැඟූ තිරසාර ජාතික ප්‍රතිපත්ති යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කෙටි කළකින්ම ත්‍රස්ථවාදය අකර්මණ්‍ය කිරීමට හැකි වීම සහ එහි දී මුස්ලිම් ජනතාව ත්‍රස්ථවාදයට එරෙහිව ලබා දුන් සහාය අගය කරන බවද සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගෙ‍ාඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන ලද හතරවන විශේෂ දිසා මහා සමුළුව අමතමින් කථානායකවරයා මෙම අදහස් පළකළ අතර ඊට එක් වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ විපක්ෂයක් ලෙස සෑම කටයුත්තකටම විරුද්ධවීම සිය ප්‍රතිපත්තිය නොවන බව සහ මෙම කාරක සභාවට විපක්ෂයේ පූර්ණ ආශිර්වාදය පළකරන්නේ රටේ අනාගතය වෙනුවෙන් විශාල යුතුකමකට දායකවීම සඳහා බවත්ය.

    මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය නිසා සියවස් ගණනාවක් පැරණි සිංහල මුස්ලිම් ජනතාව අතර ඇති බැඳීමට සිදු වූ කැළල මකා දැමිය හැක්කේ අන්‍යොන්‍ය අවබෝධය තුළින්ම පමණක් බවත් ඒ සඳහා වන දිගුකාලීන සැළසුම් කථානායකවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගෙ‍ාඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව විසින් යෝජනා කර ඇති බවත් එම යෝජනා 24 සහ දියවන්නා ප්‍රකාශය කෙරෙහි පාර්ලිමේන්තුවේ සියළුම පාර්ශවයන්හි එකඟතාවය පළවීම විශාල ජයග්‍රහණයක් බවයි.

    ජාතික ආගමික සංහිඳියාව සඳහා පාර්ලිමේන්තුව තුළින් ඇතිකරගත් එකඟතාවයන් සමාජයේ සෑම ස්ථරයක් වෙතම ගෙන යා යුතු බවත් විශේෂයෙන්ම අනාගතයේ රට භාරගන්නා පාසැල් දරුවන් වෙත අන් සංස්කෘතීන්ට ගරු කිරීමේ අවබෝධය හා හැඟීම ශක්තිමත් කිරීමට වැඩසටහන් දියත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම අවස්ථාවට එක් වූ බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමට සටන් වදිනවිට සිංහල ද්‍රවිඪ මුස්ලිම් නායකයන් එක්ව සිටි ජාතික සංගමය මුල්කරගනිමින් බිහි වූ එක්සත් ජාතික පක්ෂයට කිසිවිටෙකත් ජාතිවාදය අනුමත කළ නොහැකි බවත් පක්ෂයේ නිර්මාතෘ ඩී.එස් සේනානායකයන් ආරම්භයේ දීම නිවැරදිව ඒ සඳහා මඟ පෙන්වා ඇති බවත්ය.

     

    ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගෙ‍ාඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාවේ මෙම සිව්වන සම්‍රළුව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, අලි සහීර් මවුලානා, ඒ.එච්.එම් ෆවුසි, තුෂාර ඉඳුනිල් යන මහත්වරු සහ හිටපු පළාත්සභා මන්ත්‍රීවරු මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු පිරිසක්ද එක්ව සිටියහ.

    මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් කල අතර ඉස්ලාම් ආගමික කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරු ද සමුළුව අමතමින් මේ වන විට ස්වකීය අමාත්‍යාංශය මඟින් ගෙන ඇති පියවර පැහැදිළි කළහ.

    සමුළුවේ අදහස් දැක්වූවන් අතර දිස්ත්‍රික්කයේ සර්ව ආගමික නියෝජිතයන් කුරුණෑගල දිස්ත්‍රක් ලේකම් වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් වයඹ පලාතේ පොලිස් සහ ආරක්ෂක ප්‍රධානීන් සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම පාසැල් ශිෂ්‍ය නායක නායිකාවන් ද වූහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya