අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට රටේ සංවර්ධනය යටපත් කිරීමට ඉඩ දිය නොහැකියි- ජනපති

    ජූනි 13, 2019

    රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග්‍රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේ “සාරවත් දේශයක වාපි සංග්‍රාමය” එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට (12) පස්වරුවේ එක්වෙමිනි.

    පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී ආරම්භ කෙරිණි.

    සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් පළමු පස්පිඩැල්ල කපා වාරි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසරය සහ වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් තීන්දු තීරණ රැසකට එළැඹියේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවයි. එම තීන්දු තීරණ පිළිබඳ තමාට පහර දෙමින් අපවාද එල්ල කළ ද වන සම්පත රැක ගැනීමේ වගකීම කිසිවෙකුට බැහැර කළ නොහැකි වගකීමක් බවට අද පත්ව තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    රටක් ලෙස අපට ඉදිරියට යා හැක්කේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනංවා ගොවියා ශක්තිමත් කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙරට වාපි ක්ෂේත්‍රය සහ කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක් ඉටුකරමින් අතීත ශ්‍රී විභූතිය රටට උදාකර දීමට කැපවන බව ද අවධාරණය කළේය.

    කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් බැංකු මගින් ගොවීන් වෙත සහන ණය ලබාදීම , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සුළු වාරිමාර්ග ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ වැඩසටහන යටතේ කළුවර පැළ 200 ක් වගාකිරීම සංකේතවත් කරමින් ගොවින් වෙත එම පැළ බෙදාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කිහිපයකට අදාළව ප්‍රතිලාභ ලබදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    ආර්.ඩී ජනිත් මධුසංඛ සිසුවා විසින් සිතුවමට නඟන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් චිත්‍රයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, ශාන්ත බණ්ඩාර, ධර්මසිරි දසනායක, අතුල විජේසිංහ, එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya