අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවල භාණ්ඩ හා සේවා සැපයීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් ඇරඹේ

    මැයි 30, 2019

    දිගු කලක් තිස්සේ රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා බලාපොරොත්තුවෙන් සිටි ඉතා අත්‍යවශ්‍ය අංගයක් වන විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක් සිදුකරමින් විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මෙමඟින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉතා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් සිදුකර ගැනීමට පහසුකම් සැපයේ.
    රාජ්‍ය අංශයේ සියලු භාණ්ඩ, සේවා හා වැඩ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය යටතේ සපයා ගැනීමට ඉවහල් වන මෙම විද්‍යුත් ප්‍රසම්පාදන සේවා වෙබ් අඩවිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මුදල් අමාත්‍යාංශයේදී (29) දියත් කරන ලදී.

    රාජ්‍ය ආයතන වලට අවශ්‍ය භාණ්ඩ, සේවා හා වැඩ ප්‍රසම්පාදනය කරගැනීමට අවශ්‍ය දැන්වීම් මෙම වෙබ් අඩවිය හරහා පළකිරීම ඉදිරියේදී අනිවාර්ය කෙරේ. එමෙන්ම, සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලටද මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී රාජ්‍ය ආයතන වලින් පළකරන ප්‍රසම්පාදන දැන්වීම් වලට අදාළ ප්‍රසම්පාදන ඉල්ලුමට ප්‍රතිචාර පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවේ. මෙමඟින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය, ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය වඩාත් පුළුල් වන අතර, ප්‍රසම්පාදන ක්‍රමය තුළ ඇති නොයෙක් අඩු ලුහුඬු කම් හා වංචා දුෂණ වලට ඇති ඉඩ කඩ අවම කෙරේ.

    සියළුම රාජ්‍ය ආයතන, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව යටතේ පවත්නා මෙම වෙබ් අඩවියට පිවිසීම තුළින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය භාවිත කළ හැකි වන අතර ඊට පිවිසීමට අවශ්‍ය ලියාපදිංචිය හා මුර පදයක් ලබාගත යුතුවේ. රාජ්‍ය ආයතන වලට භාණ්ඩ, සේවා සහ වැඩ සැපයීමට බලාපොරොත්තු වන රාජ්‍ය හා පෞද්ගලික අංශයද මේ අයුරින්ම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු වන අතර එමඟින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව සිදු කළ හැකිවේ. රු. බිලියන 3000 ක් පමණ වන රාජ්‍ය අයවැයේ වටිනාකමින් රු. බිලියන 750 ක මුදලක්ම (25%) වැය කරනු ලබනුයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාය. මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වීම තුළින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන්නා වූ දූෂණ හා අක්‍රමිකතා මෙන්ම ප්‍රමාදයද
    වැළැක්වීමට හැකිවනු ඇත. තවද, ඉදිරියේදී ප්‍රසම්පාදනය සම්බන්ධව පුවත්පත් වල දැන්වීම් පළකිරීමේ ක්‍රමවේදයෙන් බැහැර විය හැකිය.

    මෙමගින් රාජ්‍ය ආයතන මෙන්ම භාණ්ඩ හා සේවා සපයන්නන්ගේද ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීමට අදාළ පිරිවැය අඩුකර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම දූෂණ හා අක්‍රමිකතා අවම කර, අනවශ්‍ය වියදම්ද අඩුකිරීමෙන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ වසරකට රු. බිලියන 27 ක් පමණ ඉතිරි කරගත හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

    ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වා දීමට අවශ්‍ය මුල්පියවර ගනු ලැබූවේ 2017 දී ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිව්වැනි දකුණු ආසියා ප්‍රසම්පාදන සම්මේලනට සමගාමීවය. මෙම ක්‍රමය මුලින්ම 1991 දී කැනඩාවෙන් ආරම්භ කරන ලද අතර, දකුණු ආසියාවේ නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් පවා මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙ වන විටත් ඒ රටවල හඳන්වා දෙනු ලැබ ඇත.

    දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන සමුළුව 2017 වසර පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ පැවැති අවස්ථාවේදී සත්කාරක රට වශයෙන් මෙම සමුළුව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන ලදී. එම අවස්ථාවේදී ශ්‍රි ලංකාව විසින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ අතර 2019 වසරේදී එම ක්‍රමය දියත් කිරීමට හැකිවී ඇත.

    මෙම නව විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය තුළින් සෑම රාජ්‍ය ආයතනයකටම අදාළ අයවැය මඟින් වෙන්කරන ලද ප්‍රතිපාදන, සකස්කරන ලද ප්‍රසම්පාදන සැලසුම් සමග සම්බන්ධ කර ඇති බැවින් ඉන් පරිබාහිරව ප්‍රතිපාදන නොමැතිව ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාවට නැංවීමෙන් පහත අරමුණු සාක්ෂාත් කරගැනීමට අවස්ථාව සලසනු ඇත.

    1. ගැනුම් කරුවන්ගේ මෙන්ම විකුණුම් කරුවන්ගේද සේවා තත්ත්වය ප්‍රවර්ධනය කිරීම
    2. විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් ඒකාබද්ධ නැඹුරුවක් ඇතිකිරීම
    3. ප්‍රසම්පාදනය සඳහා ප්‍රමිතිකරණයක් ඇතිවන බැවින් සේවාලාභියාගේ මෙන්ම සේවා දායකයාගේද ගනුදෙනු සඳහා වන පිරි වැය අඩුකිරීම
    4. සියළු ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය ස්වයංක්‍රීය කර, කාර්යක්ෂම කිරීම
    5. රාජ්‍ය අංශයේ වියදම් කළමනාකරණයේදී, ප්‍රසම්පාදනයේදී මුදලට ලැබෙන අගය (Value for Money) උපරිම කර ගැනීමට හැකිවීම
    6. සැපයුම් සඳහා විශ්වාසදායී මූලාශ්‍රයක් පවත්වාගෙන යන අතරතුර තරඟකාරිත්වය වැඩි කිරීම මගින් වඩා ගුණාත්මක භාණ්ඩ හා සේවා සඳහා වඩා තරඟකාරි මිලක් ලබාගත හැකිවීම
    7. රාජ්‍ය ප්‍රසම්පාදන වියදම් විගණනය කිරීම සඳහා වඩාත් ශක්තිමත් පසුබිමක් සකස් කිරීම.
    8. රාජ්‍ය ප්‍රසම්පාදනය වඩා විනිවිද භාවයෙන් හා වග වීමෙන් මුදලට ඉහල අගයක් ලැබෙන ලෙස කටයුතු කිරීමට ඉඩ ලබා දීම.
    - මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya