මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතුයි- අගමැති

    මැයි 22, 2019

    ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ පිළිබඳව පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභීන් වෙත ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

    නව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ යෝජනා සහ අදහස් මේ වන විට ඉදිරිපත්ව තිබෙන බැවින්, ඒ සියල්ල සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතා මූලධර්ම පදනම් කර ගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ඩිප්ලෝමාලාභීන් 2378 දෙනෙකු සඳහා අද ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.


    මේ වර්ෂය අවසන්වීමට පෙර ඔබ වැනි ඩිප්ලෝමා ලබාගත් දසදහසක් රටේ ගුරු වෘත්තියට ඇතුළත් වෙනවා. ඒ අනුව මෙරට ගුරු වෘත්තියේ සිටින අය අතරින් ඩිප්ලෝමා ධාරීන්ගේ සංඛ්‍යාව අනූදහසක් පමණ වෙනවා. එය සමස්ථ ගුරුවරුන්ගෙන් 40% ක් 45% ක් පමණ වන බව කිව යුතුයි. අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රමය ආරම්භ කලේ ඩිප්ලෝමා හා උපාධිය ලබාගත් ගුරුවරු අපේ පාසල් ක්‍රමයට ඇතුල් කිරීමටයි. එයින් අපට අවශ්‍ය වුණේ නුපුහුණු ගුරුවරු ඉවත් කිරීමටයි. මේ වනවිටත් රටේ පාසල් පද්ධතිය තුළ නුපුහුණු ගුරුවරු ලෙස ඉතා සුළු පිරිසක් කටයුතු කරනවා. අප බලාපොරොත්තු වන්නේ සම්පූර්ණ යෙන්ම පුහුණු ගුරුවරු සිටින පාසල් ක්‍රමයක් ඇති කිරීමටයි. එදා මා අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රමය ආරම්භ කළේ උපාධිය නොලබන අයට ඒ අවස්ථාව ලබාදීමටයි. ගුරු විද්‍යාලවලට වඩා වෙනත් ක්‍රමයක් ඇති කර තමන්ගේ අධ්‍යාපනය පොත පතට සීමා නොකර අනෙක් අංශ ගැනත් අවධානයක් යොමුකරවීමටයි. අද පත්වීම් ලබා පිටව යන ඔබෙන් අප බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයත් පාසල් පද්ධතියත් දියුණු කිරීම සඳහා ඔබේ දායකත්වය ලබාදෙනු ඇති බවයි. අද මේ රටේ පාසල් විශාල සංඛ්‍යාවකට උවමනා පහසුකම් සියල්ලම නැහැ. පුහුණු ගුරුවරු ප්‍රමාණවත්ව නැහැ. පවතින අඩුපාඩුකම් කඩිනමින් සම්පූර්ණ කර රටේ පාසල් දියුණු තත්ත්වයට ගෙන වීමට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.


    පසුගිය වසර කිහිපය තුළ මෙරට පාසල් දියුණු කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිතුමා විශාල කැපවීමකින් ක්‍රියා කළා. එතුමාගේ ඒ උත්සාහයට මා ස්තූතිය පළ කර සිටිනවා. පසුගිය වසර දහය තුළදී ඩිප්ලෝමා ගුරුවරු බිහිකිරීමේ සංඛ්‍යාව අඩුවුණා. නුපුහුණු ගුරුවරු පාසල්වලට බඳවා ගැනීමට ක්‍රියා කළා. නමුත් 2015 සිට අපි ඩිප්ලෝමා සහ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම වැඩි කළා. ඒ නිසා යළිත් පුහුණු ගුරුවරු සිටින පාසල් ක්‍රමයක් මෙරට ඇති වෙනවා.


    නුපුහුණු ගුරුවරු බඳවා ගැනීම දේශපාලනයට වාසියි. ඒත් එය අධ්‍යාපන ක්‍රමයට අවාසියි. පුහුණු ගුරුවරු බඳවා ගැනීම දේශපාලනයට අවාසියි. අධ්‍යාපන ක්‍රමයට වාසියි. ඒ අනුව අවශ්‍ය වන්නේ අධ්‍යාපන ක්‍රමයද, දේශපාලන ක්‍රමයද කියා තීරණය කිරීමෙන් පසුව අධ්‍යාපන ඇමැති තුමා. අධ්‍යාපන ක්‍රමයට මූලික තැන ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම කණ්ඩායමෙන් පසු ඉතිරි කණ්ඩායම් ද පුහුණු කර පාසල්වලට යොමු කිරීමට හැකි වන බව මට විශ්වාසයි.


    මේ අනුව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය දියුණු රටක පවතින අධ්‍යාපන ක්‍රමයට ගෙන යා යුතුයි. දියුණු රටක හා නොදියුණු රටක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානතම වෙනස වන්නේ දියුණු රටක සිටින්නේ පුහුණු ගුරුවරුයි. නමුත් නොදියුණු රටක පුහුණු ගුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක පවතිනවා. ඇමෙරිකාව වැනි රටවල පුහුණුව, ඩිප්ලෝමාව, උපාධිය ලබනවා පමණක් නොව පශ්චාත් උපාධි ලබන අතර, එවැනි අයට පාසල්වලින් විශේෂ ගෙවීමක් කරනවා. එම රටවල පශ්චාත් උපාධිය ලබාගත් අයට පාසල් සංඛ්‍යාවක් වෙනස් කර තිබෙනවා. අපේ ජාතික අධ්‍යාපන ආයතනය මේ ඩිප්ලෝමාධාරීන්ට උපාධියට යෑමට අවස්ථාව සැලැස්සුවාට පසු පශ්චාත් උපාධිය ලබාදීමට පියවර ගනු ඇතැයි මා බලාපොරාත්තු වෙනවා.

    පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවත්ත සිදුවීමෙන් පසු මේ සතියේ පාසල්වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණියා. පසුගිය කාලයේ රටතුල ඇතිවූ යම් යම් සිදුවීම් නිසා පාසල් දරුවන් තම පාසල්වලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. පසුගිය සඳුදා දිනයේ සංවිධානාත්මක කෝලාහල ද රටේ ඇති කළා. එයින් උත්සාහ ගත්තේ සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කිරීමටයි. නමුත් එය එක් දිනයක් තුළ නවතා දැමීමට අපට හැකිවුණා. ඉන් අනතුරුව සාර්ථකව වෙසක් පෝය සැමරීමෙන් පසුව අප බලාපොරොත්තු වු ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වෙත පැමිණ තිබෙනවා. 1983 ජාතිවාදී කෝලාහල සමයේ මේ අත්දැකීම් අපටත් ලබා ගැනීමට හැකි වුණා.


    මේ අනුව පාසල් විවෘත කර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වෙත යොමු කරවීම සඳහා අධ්‍යාපන ඇමතිතුමාට සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට භාරදී තිබූ කෙටිකාලීන වැඩසටහන අවසන් වී තිබෙනවා. දැන් රටේ තත්වය දෙස අවධානය යොමු කරමින් මීටත් වඩා විශාල කාර්යභාරයක් අධ්‍යාපන ඇමතිතුමා වෙත පැවරෙනවා. ඒ අනුව අපේ පාසල් ක්‍රමය ආගම්, භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යළිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවේ ඇති කිරීමේ වගකීම එතුමාට හා ඒ අමාත්‍යාංශයට භාරදී තිබෙනවා. මෙරට නිදහස ලබාගැනීමෙන් පසු ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා ප්‍රකාශ කළේඅපි දැන් ශ්‍රී ලාංකිකයෝ, සිංහල වුනත් දෙමළ වුනත්, මුස්ලිම් වුනත් බර්ගර් වුනත් මේ අපේ රට, මේ අපේ මාතෘ භුමීය අපි ශ්‍රී ලාංකිකයන් කියා ප්‍රකාශ කරමු.ෙ ඒ අනුව එතුමා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කළා. එය ක්‍රියාත්මක කරන්න ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා මධ්‍ය මහා විද්‍යාල ඇති කළා. දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ පාසල්වල අධ්‍යාපනය ලැබුවා. ඒ කාලය තුළ අනුරාධපුර වැනි ප්‍රදේශවල දරුවන් අධ්‍යාපනය ලැබීමට යාපනයට ගියා. මා පාසල් යන යුගයේත් මේ ආකාරයට අපි ශ්‍රී ලාංකිකයන් කියන සංකල්පය තිබුණා. හැම කෙනාටම පොදු හැඟීමක් මෙන්ම පොදු පාසල් ක්‍රමයක් තිබුණා. නමුත් හැත්තෑව දශකයේ සිට මේ ක්‍රමය වෙනස් වුණා. ආගම අනුව ජාතිය අනුව බෙදුවා. එහි පළමු විපාකය ලෙස 1983 ජාතිවාදී කෝලාහල ඇතිවී එල්.ටී.ටී. සංවිධානය බිහි වුණා. මේ නිසා යාපනයේ ද්‍රවිඩ ජනතාව අපෙන් ඈත් වුණා. දැන් ඒවගේම අපි තවත් අභියෝගයකට මුහුණ දී තිබෙනවා. නොමග ගිය අයි.එස්.අයි.එස් සංවිධානය හා එහි නායකයන් අදහන මුස්ලිම් ස්වල්ප දෙනෙක් නිසා මේ රටේ යලිත් විශාල බෝම්බ පිපිරීම් සිදුවුණා. මෙහිදී බෝම්බ පිපිරීම පමණක් නොව ජාතික සමගියට ද ගැටලූ මතුව තිබෙනවා.


    උද්ගතව තිබෙන මේ තත්ත්වය හමුවේ සලකා බැලිය යුතු ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ අපේ පාසල් සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යනව ද, එසේත් නැතිනම් පොදු පාසල් ක්‍රමයක් ඇතිකරමින් ඉදිරියට යනවාද කියා බැලීමයි. මේ ප්‍රශ්නයට අපි විසදුමක් සොයා ගත යුතුයි.

    මේ අනුව ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසැල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට දැනටමත් අප තීරණය කර තිබෙනවා. එවකට සිටි අධ්‍යාපන ඇමැති නිශ්ශංක විජේරත්න මැතිතුමාත් මාත් පිරිවෙන් සියල්ල නීතියට යටත් කර පිරිවෙන් මණ්ඩලය යටතේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය කළා. මෙරට මද්‍රසා අධ්‍යාපනයට එවැනිම මණ්ඩලයක් ඇති කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු එකඟවී තිබෙනවා. එමෙන්ම මද්‍රසා අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයත් මේ සමග සම්බන්ධ කළ යුතු බවට ඉල්ලීමක්
    තිබෙනවා. මේ අනුව ඉස්ලාම් ආගම් ඉගැන්වීමේදී එම වැඩකටයුතු සිදුවන්නේ ලංකාවේ විෂය මාලාවලට අනුවයි. මේ සම්බන්ධව ගනුලැබූ පළමු පියවර එයයි.

    මෙරට ආරම්භ කරන විශ්වවිද්‍යාල හා පුද්ගලික උපාධි ප්‍රධානය කරන ආයතන සියල්ල එක ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කළ යුතු බව අප ගත් දෙවැනි පියවරයි. සුදුසුකම් මත ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට එම ආයතන වෙත ඇතුල්වී අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි. මේ අනුව ෂරියා විශ්වවිද්‍යාල වැනි ආයතන ලංකාවේ ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කර ඊට අවශ්‍ය වන අනෙකුත් වගන්ති ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උසස් අධ්‍යාපන ඇමැතිතුමා සමග සහ නීතිපතිතුමා සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළ දී පළමුව මද්‍රසා අධ්‍යාපන කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම කෙටුම්පත ඉදිරිපත් කරන බව නීති සම්පාදක දෙපාර්තමේන්තුව හා
    නීතිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

    පාසල් අධ්‍යාපනය පොදු ක්‍රමයක් යටතේ ඉදිරියට ගෙන යෑම අපේ තුන්වැනි පියවරයි. ආගමික නායකයෙක්, ශාස්්තෘවරයෙක් වෙනුවෙන් පාසලක් නම් කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ලෙස නම් තබාගත යුතු ද කියන ප්‍රශ්නය මතුව තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම පාසල් පොදු පාසල් ලෙස සලකා වසරක් හෝ දෙකක් අදාළ පරිවර්තනය වීමට ලබාදිය යුතුයි.
    එමෙන්ම හැම දරුවෙකුට පාසලකට ඇතුල්වීමේ අවස්ථාව තිබිය යුතුයි. ඒ අවස්ථාව තිබෙන්නේ නීතියෙන් පමණක් නොව හොඳ ගුරුවරු ලබාදීමෙන් ඇති කළ යුතුයි. ඇතැම් පාසල් ඒ ඒ ප්‍රදේශවල ජනගහනය නිසා එක් ජාතියකට සීමා විය හැකියි. නමුත් අප හැමවිටම උත්සාහ ගත යුත්තේ මිශ්‍ර පාසල් ගණනාවක් රට තුළ ඇති කිරීමටයි. එමෙන්ම අන්තර් පාසල් ක්‍රීඩාවලදී
    ද සියලූ ජාතීන් ඇතුළත් වන පරිදි මිශ්‍ර කර එම වැඩ කටයුතු කළ යුතුයි. දිස්ත්‍රික් මට්ටමෙන් පාසල් කැඳවා කඳවුරු පැවැත්වීමත් මෙහිදී වැදගත් අංගයක් වෙනවා. මේ අනුව මෙම වෙනස ඇති කරන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළ යුතුයි. මේ සම්බන්ධව සාකච්ඡා කර මාසයකින් හෝ සති හයකින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැති තුමාට දැනුම්දී තිබෙනවා.
    එමෙන්ම ජාත්‍යන්තර පාසල් ද ලියාපදිංචි කර එහි විෂය මාලා පාලනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කළ යුතුයි. මෙයින් අප අපේක්ෂා කරන්නේ පොදු ක්‍රමයක් ඇති කිරීමටයි. නමුත් එය නීතියෙන් පමණක් කරන්න බැහැ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු හා ගුරුවරු පුහුණු කළ යුතුයි.


    මේ වැඩපිළිවෙල වැදගත්ම කොටස වන්නේ විදුහල්පතිවරු හා ගුරුවරුයි. ඒ වගේම අංශ ප්‍රධානීන් ඇතුළු සියලූ දෙනා මෙයට සම්බන්ධ කරගත යුතුයි. ඇතැම් අය මෙයට විරුද්ධ වේවි. තවත් සමහරු උද්ඝෝෂණ කරාවි. ඒ රටේ මතය ක්‍රියාත්මක කළ යුතුයි.

    අප සියලූ දෙනා ශ්‍රී ලාංකික වී ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා. අවුරුදු තිහක යුද්ධයකට අප මුහුණ දුන්නා. ඉන් රට පස්සට ගියා. පාස්කු ඉරුදින
    බෝම්බ පිපිරවීමෙන් පසුවත් රටට හානිවී තිබෙනවා. පසුගිය සිංහල අලූත් අවුරුද්ද වන විට රට ක්‍රමයෙන් දියුණු වෙමින් ඉදිරියට පැමිණ තිබුණා. දැන් යළිත් රට වැටුණා. කෙසේ හෝ ඉදිරි සති කිහිපය තුළ දී අනාගතය දෙස අවධානය යොමු කරමින් රට යථා තත්වයට පත්කිරීමට අප පියවර ගන්නවා. නැවත සමාජය කිසිදු ආකාරයකින් අන්තවාදයකට යොමු නොවන ලෙස පියවර ගත යුතුයි. එමෙන්ම නැවත ප්‍රචන්ඩත්වයක් ඇති නොවන ලෙස ඒ පියවර ගත යුතුයි. නැවත රට ජාතිවාදයකට තල්ලූවීමට ඉඩ නොතැබිය යුතුයි. බෝම්බ පිපිරවීමේ සිද්ධියෙන් පසු සෑම ආගමක්ම එකට එකතුවී ක්‍රියා කළා.

    එමෙන්ම මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ද සියලූ ආගම් එක්ව වෙසක් සැමරු අයුරු මා දුටුවා. කතෝලික දේවස්ථාන, මුස්ලිම් පල්ලි ඉදිරිපිට වෙසක් සැරසිලි, වෙසක් කඣඩු අප දුටුවා. වෙනදා මෙවැන්නක් අප දුටුවේ නැහැ. මේ සමගිය අප ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන යා යුතුයි. මේ වාතාවරණය ආරක්ෂා කර ගත හැකි වන්නේ අපේ පාසල් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් පමණයි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අනාගතය දෙස බලා එදා ක්‍රමයක් ඇති කළා. අපි ඒ ක්‍රමවේදයෙන් ඈත් වුණත් සිංගප්පුරුව එය ක්‍රියාත්මක කළා.
     ක්‍රමවේදය පිළිබඳව සොයා බලා එය ලංකාවේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් සිංගප්පුරුවට යැවීමට අවධානය යොමුව තිබෙනවා.


    එමෙන්ම ඒ සම්බන්ධව සිංගප්පූරු රජය සමග ද මේ වනවිට අප සාකච්ඡා කර තිබෙන බව සිහිපත් කළ යුතුයි. මෙම කණ්ඩායම යැවීමෙන් පසු විදුහල්පතිවරු ද එරටට යැවීමට අප පියවර ගන්නවා. ජාතීන්, ආගම් මත පදනම් නොවූ පොදු අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය වන කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පළමු කණ්ඩායම සිංගප්පූරුවට යැවීම පිළිබඳව එරට ස්වදේශ කටයුතු ඇමැතිතුමා සමග මා සාකච්ඡා කළා. ඒ සඳහා සම්පූර්ණ සහයෝගයට ලබාදීමට එතුමා එකඟත්වය පළ කර තිබෙනවා. මේ සම්බන්ධව විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් ක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද හොඳ අදහස් හා යෝජනා
    ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා සහ අනෙකුත් පක්‍ෂවලින් ලැබී තිබේන
    යෝජනා ද සාකච්ඡා කර හැමෝම එකඟතාවකට පැමිණ ශ්‍රී ලාංකීය
    අනන්‍යතාවයේ මූලධර්ම පදනම් කර ගනිමින් ඒ රාමුව තුළ රටේ අවශ්‍යතා  
    ක්‍රමය ඉදිරියට ගෙන යෑමට අප පියවර ගමු.


    මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය
    මාබුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්
    කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, අධ්‍යාපන
    අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ
    ජෙනරාල් ආචාර්ය ටී.ඒ.ආර්. ජයන්ති ගුණසේකර, ගුරු අධ්‍යාපන ප්‍රධාන
    කොමසාරිස් බී.ඩී.සී. බියන්විල යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්
    ඇතුළු විද්‍යාපීඨාධිපතිවරුන්, ගුරු භවතුන් සහ ඩිප්ලෝමා ලාභී ගුරුවරුන්
    විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya