අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රවෘත්ති නිවේදනය

    මැයි 15, 2019

    ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිසියට නියෝග කරයි.

    මැයි මස 12 සහ 13 වන දිනයන්හි ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මේ වන විට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කලබල ඇති කළ අවස්ථාවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

    මැයි 13 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොළ, කුලියාපිටිය, නිකවැරටිය යන ප්‍රදේශවලත්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පමණකි.

    මේ තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සහ අමාත්‍ය මණ්ඩලය විසින් 13දා රාත්‍රියෙහි සාකච්ඡා කිරීමෙන් පසුව ආරක්ෂිත පියවරක් වශයෙන් දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිසියට උපදෙස් දෙන ලදී.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකු අතරින් 9 දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. සෙසු 5 දෙනා මැයි 14 වන දින අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    වයඹ පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වූ සහ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 60 දෙනෙකුට අධික පිරිසක් මැයි මස 14 වන දින ප ව 04.00 වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතරින් 9 දෙනෙකු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 27 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම සැකකරුවන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොණු කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලීසියට නියෝග කොට ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ සිට පිටත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

    කෙසේ වුවද, ආරක්ෂිත පියවරක් වශයෙන් අවශ්‍යතවය අනුව ඇඳිරි නීතිය පණවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. ඒ අනුව මැයි 14 වන දින රාත්‍රියේද දිවයින පුරා ඇඳිරි නීතිය පණවන ලදී.

    විපතට පත්වූ ජනතාව පිළිබඳ විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි 14 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරය නිරතවූ අතර ඉන් අනතුරුව නැවතත් අමාත්‍ය මණ්ඩලය හමුවී ආරක්ෂක පියවර පිළිබඳව සාකච්ඡා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya