මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමයි- කතානායක

    මැයි 13, 2019

    ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු යැයි කතානායක කරූ ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකම බවද තවදුරටත් කතානායකවරයා සඳහන් කරයි

     

    ''මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සිතාමතා සිදුකරනු ලබන සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳව මෙම මාතෘභූමියට සහ අනාගත පරපුරට ආදරය කරන පුරවැසියන් ලෙස ඔබ සැමගේ අවධානය යොමුකරවමි.

    ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම යටපත් කර නැවතත් සමඟි සම්පන්නව එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු බවට සියළු ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමය.

    එම යුතුකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැක.

    මෙම අවස්ථාවේ දී එවැනි ක්‍රියාවන්ට කිසියම් හෝ සහයක් දක්වන පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන්ය.

    ඔවුන් තවමත් හය හතර නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතය පවා අවධානමකට ඇද දමයි.

    රට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ එම ජාතිවාදීන් සහ සිය නොදරුවන්ද බිලිදෙමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් ත්‍රස්ථවාදීන් අතර කිසිඳු වෙනසක් නොමැත.

    එම දෙපිරිසම පිටුපස ඇත්තේ ඔවුන්වත් නිවැරදිව අවබෝධ කර නොගත් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට මානබලමින් සිටින දේශීය හෝ විදේශීය කුරිරු බලවේගයන්ය.

    එවැනි බලවේග වල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා ම්ලේච්ඡ කුරිරු න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන පිරිස් සාමකාමී ජනතාවගේ සාමූහික ශක්තියෙන් ඉඳුරාම පරාජය කළ යුතුය. ඔවුන් නීතිය හමුවට පමුණුවා උපරිමයෙන් දඬුවම් කළ යුතුය.

    එබැවින් ජනතාව ජාතිවාදී හෝ ආගම් වාදී හින්සනයන්ට පොළඹවන සකලවිධ ක්‍රියාවන් සහ එ් පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස නැගීසිටින ලෙසත්, කිසිඳු ලෙසකින් එවන් කුරිරු ප්‍රයත්නයන්ට දායක නොවන ලෙසත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.

    අප මාතෘභූමියත් එහි දූ පුතුන්ගේ අනාගතයත් ජාතිවාදී, ආගම්වාදී ගින්නෙන් වැනසීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබන ලෙස යළිත් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.''

     

    කරු ජයසසූරිය

    කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya