අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීම පිළිබඳ යෝජනා කිහිපයක් හෙට කැබිනට් මණ්ඩලයට

    මැයි 07, 2019

    ජාතික ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් යළි ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

    ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර හමුවක්  (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් මේ බව පෙන්වා දුන්හ.

    මෙහිදී අදහස් දැක් වූ වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දුන්නේ මෙරට ආරක්ෂක අංශ කෙරහි පුර්ණ විශ්වාසය තබමින් තම ව්‍යාපාර කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සූදානම් බවයි.

    ත්‍රස්තවාදයට එරෙහිව පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සියලුදෙනාට පිළිගත හැකි අන්දමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙරට ආරක්ෂක අංශ මේ වන විට සමත් වුව ද එම වැඩපිළිවෙළ නිසි ලෙස ජාත්‍යන්තරය වෙත සන්නිවේදනය නොවීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ව්‍යාපාර අංශයේ කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇති බව පෙන්වා දුන් නියෝජිතයන් මින් ඉදිරියට යාමට නම් රජයේ ආරක්ෂක වැඩපිළිවෙළ සියලු ප්‍රජාවන් වෙත සන්නිවේදනය වීමේ නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය බව ද කියා සිටියේ ය

    එමෙන්ම විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රටේ දෛනික කටයුතු අඩාලවී තිබෙන අතර වෛරි සහ අසත්‍ය ප්‍රචාරයන්ගෙන් වැළකී පොදු ප්‍රකාශයක් සමාජගත වීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

    නව ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමට හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට ආරක්ෂාව සැලසීමේ දී ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීම, ස්කැනර් පර්යේෂණ ඇතුළු පහසුකම්වලට වඩා බුද්ධි අංශ ශක්තිමත් කිරීම තුලින් සංචාරක ව්‍යාපාරය තුළ යහපත් පසුබිමක් ඇතිකළ හැකි වනු ඇති බවට ද ඔවුහු යෝජනා කළහ.
    එමෙන්ම ක්ෂේත්‍රයේ තවත් ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කළ අතර, එම ගැටලු සහගත තත්ත්වයන් සමනය කිරීම සඳහා අනුගමනය කළයුතු පියවර පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කළහ.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලු පාර්ශ්වයන්ට අපගේ ආරක්ෂක හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය හැකි බවයි. පාසල්, රජයේ කාර්යාල, ව්‍යාපාර අංශ ඇතුළු සියලු ක්ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාමට මේ වන විට සියලු ඉඩ ප්‍රස්ථාව පවතින අතර, දෛනික කටයුතු කිසිසේත් අඩාල කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    තමාට අවශ්‍ය මෙම ත්‍රස්ත අභියෝගය හැකි ඉක්මණින් රටින් තුරන් කර දමා සියලු කටයුතු යථා තත්ත්වයට ගෙන ඒම බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද පැවසීය.

    රටේ ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරය කඩිනමින් නඟා සිටුවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සැලසිය හැකි සෑම පහසුකමක්ම සලසන බව ද කියා සිටියේය.

    ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, උප සභාපති විෂ් ගෝවින්දසාම්, අධ්‍යක්ෂ ජනරාල් ධාරා විජේතිලක යන මහත්ම මහත්මින් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රජාව මීට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya