අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයන් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ගැටලුවක් -ජනපති

    අප්‍රේල් 11, 2019

    රට ගොඩනැඟීමට තිබෙන ප‍්‍රධාන බාධාවන් අතර වංචාව, දූෂණය මෙන්ම මහජන නියෝජිතයන් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ද හේතු වී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    මැතිවරණවල දී කුමන ප‍්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තු දිනයේ දී පාර්ලිමේන්තුවට යාමට හෝ පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට මහජන ඡන්දයෙන් තේරි පත්වන ඇතැම් මහජන නියෝජිතයන් උනන්දු නොවන අතර, එවිට රටේ ජනතාවගේ ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව මහනගර සභාවේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට   (10) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරයේ දී පක්ෂ භේදයෙන් කටයුතු කළ ද පළාත් පාලන ආයතනවලට තේරි පත්වීමෙන් පසු සියල්ල අමතක කර සාමුහිකත්වයෙන් ජනතා සේවයට කැපවීම පළාත් පාලන නියෝජිතයන්ගේ වගකීම බවයි. විධායක ජනාධිපති ධුරය හැරෙන්නට විධායක බලයක් නගරාධිපතිවරුන්ට සහ ප‍්‍රාදේශිය සභා සභාපතිවරුන්ට හිමිව තිබෙන අතර, පළාත් පාලන ක්ෂේත‍්‍රය සංවර්ධනයේ සීමාවක් නොමැති ක්ෂේත‍්‍රයක් බවත්, පළාත් පාලන පනත තුළ පළාත් පාලන ආයතනයකට ජනතා යහපත උදෙසා ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ අවස්ථාව පවතින බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය. එබැවින් තම බලය සහ වගකීම් රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකිරීම සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1900ක් වැය කරමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව මහා නගර සභා ගොඩනැඟිල්ල ඉදිකර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැඟිල්ල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    අමාත්‍ය වජිර අබේවර්ධන, වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව මූලස්ථාන පොලීසියේ ඉදිකෙරුණු ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ ගොඩනැඟිල්ල අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් සඳහන් කළේ දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසනය පිටුදැකීම නීතිමය රැකවරණයෙන් පමණක් ඉටු නොවන අතර අපගේ සංස්කෘතිය හා හර පද්ධතින් තුළ තම වගකීම් සහ යහපත් ජීවිතයක් පිළිබඳ සමාජයේ ආකල්පීය වෙනසක් ඇති කිරීම ද අත්‍යාවශය බවයි. එමෙන්ම නීතියට වඩා සංස්කෘතිය සහ සිරිත් විරිත් බලවත් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු රැසක් මීට එක්ව සිටියහ.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 501ක් වැය කරමින් ඉදිකෙරුණු කදුරුවෙල නව බස්නැවතුම් පොළ ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    මාධ්‍යවේදින් සඳහා නිදහස් ගමන් බලපත‍්‍ර ලබාදීමේ වැඩසටහන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya