මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පළමු වැනි ජංගම සේවය මාතර - වැලිගම දී

    මාර්තු 26, 2019

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුත් දීපව්‍යාප්ත ජංගම සේවාවේ පළමු වැඩසටහන අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - වැලිගම දී පැවැත්විණි.

    ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්. කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණු වලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

    වැලිගම දී පැවැත් වූ මෙම ජංගම සේවාවේ දී, ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට බැංකු මගින් ප්‍රාග්ධන මුදල් ලබාගැනීම පහසු කරනු වස් ඒ පිළිබඳව දැනුවත් කිරීමට අමතරව එදින තම ව්‍යාපාර සඳහා බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව්‍යපාර යෝජනා සකස් කිරීමට ද සහාය වීමට වැඩපිළිවෙළක් යොදා තිබුණි. මේ සඳහා විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ සහාය ලබාගෙන තිබුණි. ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජංගම කාර්යාලයන් මෙම ස්ථානයේ දී පැවැති අතර විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳව අවශ්‍ය අනුමැතිය සහ තාක්ෂණ උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන වල නියෝජිත කාර්යාල ද මෙහි පිහිටුවා තිබුණි.

    විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ඇරඹුම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක් ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක් ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක විය.

    සංචාරක ක්ෂේත්‍රයට ප්‍රසිද්ධ දකුණු පළාතේ සංචාරකයන් සඳහා සත්කාරක නිවාස  පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයට අදාළ ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් ද වැලිගම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම කාර්යාලයේ දී ක්‍රියාත්මක වූ බැවින්
    ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර සඳහා මූලික පහසුකම් සියල්ල එක් වහලක් යට දී පහසුවෙන් ලබාගැනීමට හැකි විය. ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැ‍ඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය ලබාදීම සිදුකෙරේ.

    ඒඅනුව මාතර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා 14 ක්, ලංකා බැංකු ශාඛා 21 ක් හා ප්‍රාදේශිය සංවර්ධන බැංකු ශාඛා 20 ක් මේ වන විට මහජනතාව වෙත සහන ණය ප්‍රදානය සිදු කරයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම සිදු කරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම 16කින් සමන්විත වේ. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම යටතේ රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය, ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය, රිය ශක්ති ණය යෝජනා ක්‍රමය, රිවි බල සවි ණය යෝජනා ක්‍රමය, දිරි සවිය ණය යෝජනා ක්‍රමය, ජය ඉසුර ණය යෝජනා ක්‍රමය, සොඳුරු පියස ණය යෝජනා ක්‍රමය, මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය, ඇරඹුම ණය යෝජනා ක්‍රමය, හරිත ණය ණය යෝජනා ක්‍රමය හා මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 11 ක් ක්‍රියාත්මක වේ.

    විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ වහලය මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන (ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරේ), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය, පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මක ය. මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය හා කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීම සඳහා සහාය වීම වශයෙන් වැඩසටහන් දෙකක් ක්‍රියාවට නැංවේ.

    මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා දීපව්‍යාප්ත ජංගම සේවාවේ ප්‍රථම වැඩසටහන සඳහා සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya