අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 -ක්ෂය රෝගය සුවකළ හැකියි-විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර

    මාර්තු 20, 2019

    සෙම පටල පරීක්ෂාවෙන් ක්ෂය රෝගය නිශ්චිතව හඳුනාගත හැකි හොඳම ක්‍රමය  වන බවත් ක්ෂය රෝගය හඳුනාගත් විගස ඖෂධ අරඹා දින දෙකක් ගත වූ විට තවත් අයකුට රෝගය බෝ කිරීමේ හැකියාව නොමැති බවත්. පෙර මෙන් නොව දැන් ඖෂධ වර්ග හතරකින් රෝගය ස්ථිරවම සුව කළ හැකි යැයි ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා පවසයි.

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා ය. ලොව ඉපැරැණිතම ‍රෝගයක් ලෙස හැඳින්වෙන ක්ෂය ‍‍රෝගය තවමත් ලෝකයේ ජනතා සෞඛ්‍යයට බලපාන ප්‍රධාන ගැටලුවකි. 2018 වසරේ වාර්තා අනුව නව රෝගීන් 8258 දෙනෙකු සොයා ගෙන ඇත. ඉන් 5827 දෙනෙකු පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය වැළඳුන අය ලෙස හඳුනා ගෙන ඇත. සොයා ගන්නා රෝගීන් ගෙන් 40%ක් බස්නාහිර පළාතෙන් සොයා ගැනීම තවත් ගැටලුවක් ලෙස හදුනාගත හැකිය. එසේ ම ක්ෂය රෝගීන් 25%ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    ක්ෂය ‍රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (Mycobacterium Tuberculosis) නම් බැක්ටීරියාව මඟින් වැළදේ. රෝගියකු කසින කිවිසින විට වාතයට මුසු වන සෙම බිඳිති මඟින් ආශ්වාසය හරහා රෝගය වැළ‍ඳේ. බැක්ටීරියාව ශරීරගත වන සෑම පුද්ගලයකුම රෝගයට ගොදුරු නොවේ. එහෙත් රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කලක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව රෝගය වැළ‍ඳේ. ප්‍රතිශක්තිය හීන වූ කල නිරායාසයෙන් ම රෝගයට ගොදුරු වේ.

    මන්ද පෝෂණය, එච්.අයි.වී. ආසාදිතයන්, දියවැඩියාව, මත් වතුර දුම් වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි ප්‍රතිශක්තිය ඌන පුද්ගලයන්ට පහසුවෙන් රෝගය බෝවේ. පෙනහළු ගත ක්ෂය රෝගීන් 80% ක් පමණ වන අතර සිරුරේ ඕනෑම ස්ථානයක ක්ෂය රෝගය ඇතිවේ. රෝගය වඩාත් පැතිරයන්නේ පෙනහළු ආශ්‍රිත රෝගීන් ගෙනි‍. සති දෙකකට වඩා පවතින කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. මද උණ ගතිය රාත්‍රී කාලයේ දහදිය දැමීම, බර අඩුවීම අධික වෙහෙස, පපුව රිදීම හෝ සෙම් සමඟ ලේ පිටවීම් රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය. අඛණ්ඩව මාස හයක් බෙහෙත් ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුව වේ.

    හඳුනා නොගත් ක්ෂය රෝගීන් රෝගය රටින් තුරන් කිරී‍මට ඇති ලොකුම බාධාව බව හඳුනා ගෙන ඇත. ක්ෂය රෝගීන් සමාජයෙන් කොන් කිරීමෙන් ඔවුන් රෝගය සඟවා ගෙන සමාජයෙහි සැරි සැරීමෙන් අන්‍යයන්ට ද රෝගය බෝවේ. එක් රෝගියකුගෙන් නිරෝගී පුද්ගලයන් 10 – 15 කට රෝගය බෝ වීමට ඉඩ තිබේ. එහෙයින් ක්ෂය ‍රෝගීන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. පෙර මෙන් දැන් එය මාරාන්තික නොවන හෙයින් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් දිවි රැකගත හැකි ය. අඛණ්ඩව බෙහෙත් ගැනීමෙන් ස්ථිර සුවය ලද පසු සුපුරුදු පරිදි සුවෙන් දිවි ගෙවන්නට හැකිවේ. ක්ෂය රෝගය සඳහා සෙම පරීක්ෂාව ළය රෝහල් මෙන් ම සෑම රජයේ රෝහලකදීම නොමිලේ සිදු කරගත හැකි ය. 2030 වනවිට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීම ක්ෂය රෝග මර්ධන වැඩසටහනෙහි ඉලක්කය වී තිබේ. ඒ සඳහා අප අතර ගැවසෙන ආසාදිතයන් ගෙන් 90% ක් වත් හඳුනා ගත යුතු ය. තවමත් මෙරට හඳුනාගනු ලබන්නේ 60% ක් පමණි. සමාජයෙහි ගැවසෙන ‍රෝගීන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් තමන්ගේ සෞඛ්‍ය මෙන් ම පොදු ජනතාවගේ සෞඛ්‍යය ද රැක ගත හැකි වන බව ක්ෂය රෝග මර්දන වැඩසටහන අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya