අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මේ වසරේ මිලියන 8000ක ආදායම් ඉලක්කයක් - ඇමති වජිර අබේවර්ධන

    මාර්තු 15, 2019

    වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ වන බව පැවසූවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව හා භාෂා ද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම පිළිබඳව ඊයේ (14) කොළඹ 07,ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

    මෙම සේවාවේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 16 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    “මෙම දෙපාර්තමේන්තුව වසර 155 ත් පැරණියි. මෙම දෙපාර්තමේන්තුව පිළිබඳව අපි විවිධ විවේචන, විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියනවා. මෙම ආයතනය ලංකාවේ ඵලදායිතා ආයතනයක් ලෙස ඉදිරියට ගත යුතු බව විවිධ අවස්ථාවල අග්‍රාමාත්‍යතුමා අවධානය යොමුකර තිබෙනවා. බහුල ලෙස හොර ලියකියවිලි තිබෙන දෙපාර්තමේන්තුවක් ලෙස පවතිනවා. එවැනි අවස්ථා විශාල ප්‍රමාණයෙන් අපට වාර්තා වී තිබෙනවා. සමහර විට නීතිමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරයට නොවෙයි එම කටයුතු සිදුවන්නේ. විශේෂයෙන් නගරවල ඉඩම් සඳහා මෙම වසර 155 ඇතුළත ලියවී ඇති හොර ඔප්පු ප්‍රමාණය අසීමිතයි. ඉඩම් ඔප්පු අස්ථානගතවී ඇත. දිරාපත් වී ඇත. කියලා නිලධාරීන් මග හරිනවා. ඔප්පු කළ හැකි ආකාරයට සහ ඔප්පු කළ නොහැකි ආකාරයට මෙම කටයුතු ශ්‍රී ලංකාව පුරා සිද්ධ වෙනවා. මෙය මහා ඛේදනීය තත්ත්වයක්.

     මේ තත්ත්වය වෙනස් කිරීමට අප කටයුතු කරගෙන යනවා. මෙම දෙපාර්තමේන්තුව ප්‍රතිලාභ ලබන දෙපාර්තමේන්තුවක් ලෙස මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනය කරනු ලබනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිසට වැටුපෙන් 40% - 25% - 15% ආදී ලෙස එකතු වෙනවා. ඉඩමක් සඳහා මුද්දර ගාස්තුව ලක්ෂ 100ක් වන පුද්ගලයාට රුපියල් 25,000ත් හෝ 50,000ක් ගෙවා පැයක් ඇතුළත තමන්ගේ ඔප්පුව ලබාගන්න කැමතියි. අදත් එය සිද්ධ වෙන ක්‍රමවේද තිබෙනවා. එම ක්‍රමවේද ගැන කථා කරන්න කැමති නැහැ. මෙම වර්ෂය අවසානයේදී මිලියන 8000 ආදායමක් ලැබීමට ඉලක්ක කරල තියෙනවා.

    සාමාන්‍ය ජනතාවට නියමිත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුව ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරමින් හදිසි අවශ්‍යතා ඇති අයට මෙම ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. අවුරුදු 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස දෙපාර්තමේන්තුව පැවතුනේ. නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවා. උප්පැන්න සහතිකය නික්තු කරන අවස්ථාවේදීම ජාතික හැදුනුම්පත් අංකය නිකුත් වෙනවා. ඒ අනුව වංචනික උප්පැන්න සහතික නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මුළු රටපුරා ඉලෙක්ට්‍රොනික් උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ වෙනවා. ඒ උප්පැන්න සහතිකය වගේම විවාහ සහතික, මරණ සහතිකවලද විශාල වෙනස්කම් ගණනාවක් වෙනවා. උප්පැන්න සහතිකය අවශ්‍ය නොවන, පුරවැසියෙක් ලෙස අසිරුතාවයකට පත්වන කරුණු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. ශ්‍රී
    ලාංකික අනන්‍යතාවය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මෙය ජාතික අවශ්‍යතාවයක්.” යැයි කීය.

    මෙහි දී අදහස් දැක්වූ රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ භාවිතවන උප්පැන්න සහතිකවලින් සියයට 17ක් හොර උප්පැන්න බවයි. එමෙන් ම විවාහ සහතිකවලින් සියයට 13ක් හොර විවාහ සහතික බවත්, සියයට 11ක් මරණ සහතික හොරට සාදා ඇති බවත් මෙරට තිබෙන ඔප්පුවලින් සියයට 42ක් හොර ඔප්පු බවත් ඔහු කියා සිටියේය.
    රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ''අපි මේ තත්ත්වය වෙනස් කරනවා. නව උප්පැන්නයක් හඳුන්වා දෙනවා. එහි ආරක්ෂිත ක්‍රමෝපායයන් රැසක් තිබෙනවා. අධෝ රක්ත කිරණ මගින් දර්ශනය කළ හැකි රාජ්‍ය ලාංඡනයක් ඉන් ප්‍රධානයි. ආරක්ෂිත ස්ටිකරයක් සහ පරිගණක කේත ක්‍රමයක් ද මේ උප්පැන්න සහතිකයට අඩංගු කර තිබෙනවා. ඒ වගේම මෙතෙක් උප්පැන්න සහතිකයේ තිබූ පුද්ගකත්වයට හානිවන ස්ථාන කිහිපයක් අපි ඉවත් කළා. තමන්ට අවශ්‍ය භාෂා ද්විත්වයකින් උප්පැන්න සහතිකය ලබාගන්න පුළුවන්. ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපන් සියලු දෙනාට මේ ජාතික උප්පැන්න සහතිකය ලබාදෙනවා. පසු අදියරක දී පැරණි උප්පැන්නත් මේ ආකාරයෙන් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි පැවසී ය.

     මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ද සහභාගී වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya