අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''විශ්වෝදා'' අගමැති සුරතින් සිසු අයිතියට

    පෙබරවාරි 16, 2019

    විසිඑක්වැනි සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි අයුරින් මෙරට අධ්‍යාපනය යාවත්කාලීන විය යුතු බවත්, ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතුව පවතින බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල මගුරුඔය වත්තේ විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, පාසලේ නම ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යාහැකි ශක්තිය සහ හැකියාව පවතින්නේ පාසලක සමාරම්භක අදියරේදී එය සංවර්ධනය කිරීම වෙනුවෙන් කර උරදී කටයුතු කළ හැකි විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට බවත් මෙතැන්සිට එම වගකීම විශ්වෝදා පාසලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් වෙත පැවරෙන බවත් ප්‍රකාශ කළේය. මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ මෙම පාසලේ ඉදිකිරීම් අවසන් කර සිසු අයිතියට පත්කිරීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව ද ඉදිරියේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් මෙවැනි පාසලක් ලබාදීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    සීමා මායිම් පසුකර විශ්වයේ අභියෝග ජයගත හැකි දරුවන් ගොඩනැගීම වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම තම අපේක්ෂාව බවත්, විශ්වෝදා පාසල එම අපේක්ෂාව මල්ඵල ගන්නා තවත් සුවිශේෂ අවස්ථාවක් බවත් විශ්වෝදා විද්‍යාලයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

    මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ අලුතින් ඉදිකළ මෙම පාසලට පළමු ශ්‍රේණියේ සිට සිසුන්

    ඇතුළත් කර නොගැනීමට හේතුව ප්‍රදේශය අවට බොහෝ ප්‍රාථමික පාසල් පැවතීම බවත්, කිසිදු දේශපාලන මැදිහත්වීමක් මෙම පාසලට දරුවන් ඇතුළත් කිරීමේ දී සිදුනොකළ බවත් සඳහන් කළේය.

    2015 වසරේ තමා අධ්‍යාපන අමාත්‍ය ධූරය භාරගන්නා කාලයෙහි මෙරට පාසල් පද්ධතිය තුළ විදුලිබලය සහිත පාසල් ප්‍රතිශතය වූයේ 60%ක් බවත් අද වනවිට එය 99%ක් දක්වා ඉහළ නැංවීමට හැකිවී ඇති බවත්, 2015 වසර වනවිට පානීය ජලය නොමැති පාසල්, වැසිකිළි නොමැති පාසල්, ඩෙස්ක් සහ පුටු නොමැති පාසල් වෙන් වෙන් වශයෙන් හඳුනාගනිමින් එම අවශ්‍යතා සම්පූර්ණ කරදීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. එමෙන් ම පසුගිය කලාවකවානුව තුළ මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා පාසල් අතුරෙන් 9000කට ආසන්න පාසල් ප්‍රමාණයක කවර හෝ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් ජාතික මට්ටමින් මැදිහත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අනාගතයේ දී මෙවැනි පාසල් කිහිපයක් අලුතින් ඉදිකිරීමට තිරණය කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතර ට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබේ. මෙරට ජාතික පාසල් අතරට එක්වන 355 වැනි ජාතික පාසල විශ්වෝදා ජාතික පාසලයි.

    නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ක්‍රියාවට නැංවෙනළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙම පාසල අංග සම්පූර්ණ පහසුකම් සහිත ව කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදි කර ඇති මෙම විද්‍යාලය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1000ක් වේ. මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    බුද්ධ ශාසන කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතවරුන් රැසක් ද, අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya