අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2030 වන විට අප මේ සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි- අග්‍රාමාත්‍ය

    පෙබරවාරි 11, 2019

    සීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. 2030 වන විට අප මේ සියලු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කුරුණෑගල වැව් මන්තීරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය

    තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    මම කුඩා කල කුරුණෑගලට පැමිණි අවස්ථාවේ මෙම වැව වටා ගමන් කර තිබෙනවා. මාගේ පියාගේ මව කුරූණෑගල නගරයේ පදිංචි පළමුවෙනි පවුලයි. අද මෙන් අලංකාරව තිබෙන වැවක් මා මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේ දැක නැහැ. මේ නගරය අලංකාර කිරීම සදහා පියවර ගත් අපේ ඇමතිතුමාටත්, නගරාධිපතිතුමා ඇතුළු සියළු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

    කුරුණෑගල නගරය සුද්දන්ගේ කාලයේ පැවති ප්‍රධාන නගරයක්. මේ ප්‍රදේශය වැඩි දියුණු කිරීම අපේ ප්‍රධාන යුතුකමක් වෙනවා. අශෝක් අබේසිංහ ඇමතිතුමා මේ නගරය දියුණු කිරීම පිළිබඳව වරින් වර මා දැනුවත් කරනවා. එතුමාටත් නගරාධිපතිතුමාටත් මෙම වැඩකටයුත්ත කිරීම පිළිබද මම ප්‍රශංසා කරනවා.

    කුරුණෑගල නගරය ඇතුළු මේ ප්‍රදේශය නවීන නගරයක පහසුකම් ලබාදීම සඳහා අශෝක් අබේසිංහ ඇමතිතුමා විශාල පියවර ගෙන තිබෙනවා. එතුමා සෑම ඇමතිවරයෙකු සමඟ කතාකොට ප්‍රදේශයේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නවා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට කටයුතු කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මේ අවස්ථාවේදිත් එතුමා මට මතක් කළා. මෙතුමා කුරුණෑගල නගරය දියුණු කිරිම සම්බන්ධයෙන් වරින් වර මා සමඟ කතා කළා. හැකි උපරිම අයුරින් මේ ප්‍රදේශය දියුණු කිරිම සදහා මා විසින්
    එතුමාට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

    ඒවගේම චම්පික රණවක ඇමතිතුමා මහනගර සංකල්පය දියුණුකිරීම මෙන්ම මේ නගර දියුණු කිරිම සදහා විශාල ලෙස උනන්දුවක් දක්වනවා. නාගරික සංවර්ධනය මාර්ගයෙන් නගර නවීකරණය කිරීමේ කටයුතු සිදු කරනවා. චම්පික රණවක ඇමතිතුමා ඒ සදහා විශාල ලෙස උනන්දුවක් දක්වනවා. අද නගර ගණනාවක් අලංකාර වී ඇත්තේ සැලසුමක් ඇතිව එතුමා එය දියුණු කළ නිසයි. ඒ නිසා එතුමා මේ සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රයන්තය පිළිබදව සහ විශේෂයෙන් කුරුණෑගල නගරය දියුණු කිරීමට ගන්නා ලද උත්සාහය ගැන ද එතුමාට ස්තුති වන්ත වෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඇති එක් අඩුපාඩුවක් නම් හොද හෝටල් නොතිබීමයි. දඹුල්ල, නුවර, කටුනායක අවට සහ මීගමුව ප්‍රදේශයන්හි හොද හෝටල් තිබෙන නමුත් කුරුණෑගල ප්‍රදේශයේ හොද හෝටල් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ඇති ඉඩම් කිහිපයක හෝටල් කිහිපයක් ආරම්භ කළහොත් විශාල දියුණුවක් දක්නට පුළුවන්.

    ඉදිරියේදී තරු හතරේ තරු පහේ හෝටලයක් දෙකක් මේ ප්‍රදේශයේ ඉදිකිරීමෙන් තවත් විශාල දියුණුවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. සංචාරක අමාත්‍යතුමාත්, නගරාධිපතිතුමාත්, අශෝක් අබේසිංහ මැතිතුමාත් එකතුවී එම කාර්ය ඉදිරියේදී කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි මා සිතනවා. අපි සංචාරක ආර්ථිකයක් මේ ප්‍රදේශයට ලබා දිය යුතුයි. සංචාරක ආර්ථියක් ලබාදීම මගින්ද මේ ප්‍රදේශයට විශාල දියුණුවක් ලබාදීමට අපි කටයුතු කරනවා.

    චම්පික රණවක ඇමතිතුමා මා වෙත කරුණු දෙකක් පිළිබද දැනුම් දුන්නා. ඉන් එකක් නම් අපි ණය බරින් සිටින රටක්. මේ ණය උපරිම ලෙස ලබාගෙන තිබෙනවා. 2013 , 2014 වර්ෂවලදී විශාල වශයෙන් අර්බූදයකට මුහුණු පා සිටියා. එම අර්බූදය විසදීමට හැකියාවක් තිබේ කියා කිසිවෙක් සිතුවේ නැහැ. 2015 වර්ෂයේ අපි රජය භාර ගැනීමෙන් පසු මෙම ණය අර්බූදය විසදීමේ කටයුතු අපි ආරම්භ කළා. අපි ඉතා අපහසුවෙන් හෝ ණය ගෙවීම් කළා. ඒ අපහසුතාවය අපි සියලූ දෙනාටම දැනුණා. එය ඉතා අසීරු කටයුත්තක් වුණා. අපි ණය ගෙවීම පැහැර හැරියා නම්මේ රට බංකොලොත් රටක් බවට පත්වෙනවා.

    ග්‍රීසීය වැනි රටවල මෙවැනි තත්වයක් පැවති අවස්ථාවලදී 40% කින් වැටුප් ගෙවීම අඩු කළා. රෝහල්වල ඖෂධ නොමැතිව මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා. පාසල් වල ගුරුවරුන් නොසිටීමෙන් දරුවන් ඇතුලත් කිරීමට නොහැකි වුණා. නමුත් අපි ඒ කිසිවක් සිදු කළේ නැහැ. අපි මේ රටේ ණය ගෙවීම සිදුකරන අතරතුර වැටුප් වැඩිකිරීම ද සිදු කළා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ දීම සිදු කළා. පාසල් අතරින් ළඟම පාසල හොඳම පාසල බවට පත්කළා. කිසිම අඩුවක් සිදු කළේ නැහැ. මේ කටයුතු කිරීමට අපට ටිකක් අපහසු වුණා. නමුත් අපි පොරොන්දු වූ පරිදි එම කටයුතු සිදු කළා.

    දෙවන කරුණ නම් අපි මුදල් උපයා ණය ගෙවීම සිදු කළ යුතුව තිබෙනවා. මේ වසරේ සිට සීඝ්‍ර අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. සීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. අපනයන අයි ටී සේවාවක් අපට අවශ්‍යයි. උපරිම තාක්ෂණය යොදවන අළුත් කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. මේ සියලූ දේ සිදුකිරීමෙන් ඊළඟ වසර පහ, දහය තුල මෙම ණය ගෙවීමට අපට හැකියාව ලැබෙනවා. 2030 වන විට අප මේ සියළු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.

    ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ සීග්‍ර සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම අප සිදු කළ යුතුව තිබෙනවා. ඒ යටිතල පහසුකම් ලබාදීමට අප විසින් හදුනාගත් එක් ප්‍රදේශයක් ලෙස වයඹප්‍රදේශය නම් කර ඇති බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ පිළිබද සියලූ සැලසුම් සකස් කරමින් පවතිනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් මේ ප්‍රදේශයේ සම්පූර්ණ දියුණුවක් ඉදිරියේදී අපට දැකගත හැකි වෙනවා. කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත්වෙනවා. එන සතියේ අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ පැමිණ පොරොන්දු වූ පරිදි ජාතික පාසලේ වැඩකටයුතු විවෘත කිරීම සිදු කරනවා.

    එපමණක් නොවෙයි. මාර්තු 04 වෙනි දින බිංගිරිය ආයෝජන කලාපය විවෘත කිරීම සිදු කරනවා. එය ලංකාවේ දැනට තිබෙන ආයෝජන කලාප අතරින් විශාල කලාපය බව මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. මෙම ආයෝජන කලාපය අක්කර 600, 800ක් පමණ ප්‍රමාණයක ඉදිකර තිබෙනවා. එය කටුනායක හා බියගම කලාපවලට වඩා විශාල කලාපයක්. මේ ආකාරයට හොඳ වැඩපිළිවෙලවල් අපි සකස් කරගෙන යනවා.

    කුලියාපිටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතුත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කරගෙන යනවා. අනෙක් පැත්තෙන් මාවතගම ප්‍රදේශයේ දියුණුවක් ද දක්නට ලැබෙනවා. මේ වන විට මාවතගම පොලිස් ස්ථානයද අළුතින් විවෘත කර තිබෙන අතර අධිවේගි මාර්ගය ඉදිකිරීම නිසා ද මේ ප්‍රදේශයේද විශාල දියුණුවක් දක්නට ලැබෙනවා. අප විසින් සිදු කරනු ලබන මේ වැඩකටයුතු කිසිවෙකුට නතර කිරීමට හැකියාවක් නැහැ. මේ ප්‍රදේශයේ ඉදිකළ මෙම වෙළඳ කලාපය නිසා විශාල දියුණුවක් ද ඉදිරියේදී ඇති වෙනවා. කුරුණෑගල නගරය විශේෂ ස්ථානයක් ගනු ලබනවා. එක් පැත්තකින් හලාවත දක්වාත්, අනෙක් පැත්තෙන් කුලියාපිටිය, නාරම්මල, දඹුල්ල, මහනුවර දක්වාත් යන ප්‍රධාන නගරයක් ලෙස කුරුණෑගල හදුන්වන්න පුළුවන්. කුරුණෑගල ප්‍රදේශය දියුණු කර තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය මේ ප්‍රදේශයට ගෙන ඒමට අඩිතාලම අපි සැකසිය යුතුයි. මහනුවර හා කුරුණෑගල අතර තාක්ෂණ කොරිඩෝවක් ඇති කිරීමට අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ තත්වයට පත්වන්නේ කෙසේද යන්නත්, එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත් අපි අලූතින් සිතිය යුතුයි. මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශයන්හි අධ්‍යාපනය ලබන දක්ෂ දරුවන් සිටිනවා. ඒවගේම කුලියාපිටිය, හලාවත, නාත්තන්ඩිය ආදි ප්‍රදේශ වටාත් සිටිනවා. ඒ දරුවන් මේ තාක්‍ෂණ දියුණුව සඳහා සම්බන්ධ කරගත යුතු යි.

    අනාගතයේදී මුදල් ඉපයීම සිදුකරන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුයි. මෙතෙක් කල් ඔබ සියළු දෙනා බැලූවේ රජයේ මුදල් කෙසේද වියදම් කළේ කියායි. මම අශෝක් අබේසිංහ මැතිතුමාටත්, අනෙකුත් ඇමතිතුමන්ලාටත්, නගරාධිපතිතුමාටත් අපට මුදල් උපයා ගන්නා මාර්ග සොයා බලන ලෙසත් ඒ සඳහා අපි උදව් කරන බවත් මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

    අපේ රටේ දැන් මුදල් ඉපයිය යුතුව තිබෙනවා. විශාල ලෙස ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. රුපියල්වලින් නොව ඩොලර් වලින්. ඩොලර්වලින් මිලියන 100ක් නොවෙයි. ඩොලර් වලින් මිලියන 1000ක් නොවෙයි. එවාගේ 10 ගුණයකින් ඉදිරි වසර කිහිපය තුලදී අපි මුදල් ඉපයිය යුතුව තිබෙනවා. අපි ඒ වැඩකටයුතු කිරීමෙන් ඊළග පරපුරට හොද අනාගතයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. මේ වසර 05 තුල අපි සිදු කළේ ආර්ථිකය ස්ථාවර කිරීම, ණය ගෙවීමට ශක්තියක් ඇති කර ගැනීම, ජීඑස්පී ප්ලස් සහනය නැවත ආපසු ලබාගැනීම ආදියයි. ඒවගේම අපි දැන් අලූතින් සිතා අපි ලබාගත් මුදල් පියවිමට උපයන මාර්ග සදහා යා යුතුව තිබෙනවා. ඒ සඳහා අඩිතාලම මේ වන විටත් අපි දමා තිබෙනවා. ඒ කාර්යය ටිකක් අපහසුයි. අපි ගංවතුර තර්ජනයට මුහුණ දුන්නා. නියඟයට මුහුණ දුන්නා. අපිට නොයෙක් ප්‍රශ්න මතු වුණා. නමුත් ඒ සියල්ල අභිබවා අපි ඉදිරියට යනවා. ඒ සඳහා ඔබේ සහයෝගය අපට අවශ්‍ය බව අවසාන වශයෙන් මා ප්‍රකාශ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya