අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලක් ආරම්භ කළ යුතුයි- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    පෙබරවාරි 09, 2019

    මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටින දක්ෂයින්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනිම සඳහා ඔවුන්ට අත හිත ලබා දෙන ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලක් ආරම්භ කළ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    මෙම ක්‍රීඩා සංවර්ධන අරමුදල තර කිරීම සදහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශය මෙන්ම රටේ පුරවැසියන් සියලු දෙනා හැකි ආකාරයෙන් දායක විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ‘සෙවණ සරණ මාපිය කැපකරු ක්‍රමය’ අනුව යමින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් ‘ක්‍රීඩා කැපකරු මාපිය ක්‍රමය’ නමින් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශක්තිමත් කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපීරීම නිමිත්තෙන් ග්‍රාමීය බල ප්‍රදේශවල ඉඩමක් හා නිවසක් නොමැති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ කඩිනමින් ක්‍රීඩා ගම්මාන ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජූඩෝ ක්‍රීඩාවලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් (08) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවති උත්සවයට සහභාගි වෙමිනි.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඔහු වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ලබා දුන් 27 වන නිවස මෙය වේ.

     

    ගම්පොළ, වැවැතැන්න, දෙමොදරවත්තේ පදිංචි චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයා 2018 ස්ලෝවේනියාවේ පැවති යුරෝපා ජූඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2018 ඔස්ට්‍රියාවේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියේ දෙවන ස්ථානය, 2016 ඉන්දියවේ පැවති සාක් ජූඩෝ තරගාවලියේ දෙවන ස්ථානය, 2016 බ්‍රසීලයේ පැවති රියෝ ඔලිම්පික් ජූඩෝ තරගාවලියේ 9 වන ස්ථානය දිනා ගැනීම සහ 2013, 2014, 2015, 2016, 2017 සහ 2018 වසරවල පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ජූඩෝ තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම හා දක්ෂතම ක්‍රීඩකයා වීම ඇතුළු ජූඩෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.

    මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා සහ මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මියද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya