අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පද්ධතියේ සංවර්ධනය ගමේ පාසලෙන් ඇරඹිය යුතුයි - අමාත්‍ය සාගල රත්නායක

    ජනවාරි 29, 2019

    පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමේදී ගමේ දිළිඳු පාසල් සංවර්ධනයට ප්‍ර‍මුඛත්වයක් ලබාදිය යුතු බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක  මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා දෙණියාය ආසනයේ, කොටපොල මුගුරුමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති නිවාසන්තර ක්‍රිඩා උළෙලේ ප්‍ර‍ධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගමේ පාසල් සංවර්ධනය තුළින් දරුවන්ටත් දෙමව්පියන්ටත් යහපතක් වන අතර ඒ මගින් ජනප්‍රිය පාසල් පසුපස ගොස් ඇති වන පීඩනයෙන් දෙමව්පියන්ට අත්මිදිය හැකි බවයි. ඒ අනුව ළඟම පාසල හොඳම පාසල කිරීමේ ජාතික සංකල්පයට උරදෙමින් ඒ සමඟ අත්වැල් බැඳගන්නැයි ගරු අමාත්‍යවරයා සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටියේය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    “මට නිතර මේ දිනවල ආරාධනා ලැබෙනවා නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට සහභාගී වෙන්න. මම ඉන් 04 ක් තෝරගත්තා. ඉන් තුනක් ප්‍ර‍ධාන පෙළේ පාසල්. අනිත් එක මේ කුඩා පාසල. මම මේ පාසල තෝරගන්න හේතු කිහිපයක් තිබුණා. පළවැනිම හේතුව තමයි මට ආරාධනා කිරීම. දෙවැනි හේතුව මේ පාසල දියුණු කරන්න විදුහල්පති, ගුරුවරුන් සහ දෙමව්පියන් විශාල උනන්දුවක් දක්වනවා. දෙමව්පියන් පාසල ගැන විශ්වාසය තැබුවේ නැත්නම් මේ වසරේ 19 දෙනෙක් ඇතුළත් වෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඒ විශ්වාසය ඇතිවෙන්නේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය මේ පාසල දියුණු කරන්න ගත් උත්සාහය නිසා. 

    ඒ නිසා මෙවැනි කුඩා පාසල් අපි දියුණු කරන්න ඕන. මගේ පියා මුලින්ම ගියෙත් ගමේ කුඩා පාසලකට. එහි අවුරුදු ගණනාවක් මූලික අධ්‍යාපනය ලැබුවා. ඉතින් අපි මෙවැනි කුඩා පාසල් දියුණු කරමින් පාසල් පද්ධතිය සවිමත් කළොත් තමයි අපේ රටේ අධ්‍යාපනය හොඳ තැනකට ගන්න පුළුවන්. දියුණුම රටවල් වල ගත්තම ළගම පාසලට තමයි ඒ දරුවෝ යන්නේ. ලොකු පාසල්, පොඩි පාසල් කියලා භේදයක් නැහැ. අපේ රටේත් ඒ තත්ත්වය තමයි මුලදි තිබුණා. නමුත් පසුකාලීනව ජනප්‍රිය පාසල් කියන අදහස, ජනප්‍රිය පාසල් තේරීම කියන නාඩගම ආවා. කුඩා පාසල් ටික දියුණු කළාම තමයි අධ්‍යාපනය දියුණු කළා කියා අපට කියන්න පුළුවන් වෙන්නේ. ඒ කාලේ දිසාපතිවරයෙක්, උප දිසාපතිවරයෙක් එක ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට මාරු කළා ම තමන්ගේ දරුවෝ ටික අරගෙන ඒ ප්‍රදේශයේ පදිංචි වෙනවා. ඒ දරුවා ඒ ළගම පාසලකට දානවා. ඉතින් ඒ නිසා පවුල් ජීවිතයත් රැකෙනවා.

    අධ්‍යාපන කටයුතුත් හො‍දින් සිදු කෙරෙනවා. තමන්ගේ රැකියාවත් කරදරයක් නැතිව කරන්න පුළුවන් වෙනවා. මේ ගමේ පාර සඳහා අපි මුදල් වෙන්කළා. එහි වැඩ ආරම්භ වන්නේ තිබ්බේ පසුගිය වර්ෂයේ. ටෙන්ඩරය පවා කැඳවන්න කටයුතු කළා. නමුත් ඇතිවූ දේශපාලන අර්බුයත් සමග ඒ වැඩ කටයුතු නතර වුණා. මේ පාර පමණක් නොවේ කිලෝමීටර 88 ක් කාපට් පාර ත් සම්පූර්ණයෙන් මේ දෙණියාය ආසනයේ ජනතාවට නැතිවුණා ඒ අර්බුදය නිසා. ඒ වගේම අපි ක්‍රීඩා පිට්ටනි සඳහා ලක්ෂ 10 ක මුදලක් වෙන් කරලා තියෙනවා. මේ පාසලට පමණක් නොවේ දෙණියාය ආසනයේ ඇති සියලුම පාසල්වලට අපි ඒ මුදල වෙන්කළා. එහිදී පාසලට අවශ්‍ය ක්‍රීඩා පිට්ටනිය ද, සනීපාරක්ෂක පද්ධතිය ද යන්න තීරණය කරන්න විදුහල්පතිවරයාට හැකියාවක් තිබෙනවා.

    මේ පාසලේ ඉන්නවා 1 වසරේ සිට 9 වසර දක්වා දරුවන්. ඒ අධ්‍යාපනය ලබන දරුවෝ නවය වසරින් පසුව වෙනත් පාසලක් සොයා යන්නේ නැහැ. ඒ ඔවුන්ගේ දුප්පත්කම නිසා. මේ ස්ථානයේ සිට කොටපොළ ජාතික පාසලට යන්න තියෙනවා කිලෝමීටර හයක් පමණ. එය විශාල දුරක් නොවුණත් මේ දරුවන්ට එය කරගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් මෙතනින්ම නවතිනවා. 2019 වසරේ මේ පාසලේ පළමු වැනි ශ්‍රේණියට දරුවන් 19 ක් පමණ ඇතුළත් වුණා. ඇත්තටම ඒක විශාල ජයග්‍ර‍ණයක්. එය මේ පාසල, විදුහල්පති, ගුරු මණ්ඩලය, දෙමව්පියන් සහ මේ ගම ලැබූ ජයග්‍ර‍හණයක්. මේ වැනි කුඩා ගමේ පාසල් දියුණුවෙන්න ඕන.

     

    ළඟම පාසල හොඳම පාසල කරන්න ඕන. ඒ තත්ත්වය ඇති වුණොත් ජනප්‍රිය පාසල් වලට එන පීඩනය වගේම එවැනි පාසලකට ඇතුළු කරගන්න අවස්ථාවක් නොලැබුණාම දෙමව්පියන්ට, දරුවන්ට ඇතිවෙන හිතේ ආමරුව ත් නැතිවෙනවා. ඒ වගේම ගමේ ඉඳන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්. ඒ දර්ශනය, ප්‍ර‍තිපත්තිය ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ක්‍රීඩා උත්සවයට සහභාගී වූ, ජයග්‍ර‍හණ අත්කරගත්, අත්දැකීම් ලබාගත්, විනෝද වූ සියලු දරුවන්‍ට මා ඉතාම හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ” යැයි ද අමාත්‍යවරයා  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya