අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබේ

    ජනවාරි 19, 2019

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම  (18)දින පෙරවරුවේ සිදු විය.

    ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළව මෙම කි‍්‍රයාකාරී සැලැස්මට අත්සන් තැබීම සිදු වූ අතර ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සහ දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි.

    පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

    එහි දී ජනාධිපතිතුමා සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා (Dr. Matthew Morell)  ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් මෙම කි‍්‍රයාකාරි සැලැස්මට අත්සන් තැබීය.

    ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ‍්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි.

    අනතුරුව එම පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා එහි කි‍්‍රයාකාරිත්වය නිරික්ෂණය කළේය. ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය ලොව විශාලතම සහල් ජාන බැංකුවයි. ලෝකයේ විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් එහි සංරක්ෂණය කර තිබේ. මෙම පර්යේෂණායතනය නියඟයන්ට, ජලගැලීම්වලට සහ පළිබෝධවලට ඔරොත්තු දිය හැකි වී ප‍්‍රභේද නිපදවීම සඳහා සෑම රටකට ම ජාන නිකුත් කරයි. දිනෙන් දින උණුසුම් වන ලෝකයේ සහල් වර්ග සංරක්ෂණය කිරීම සහ අධික වන ගෝලීය උෂ්ණත්වයට ගැළපෙන වී ප‍්‍රභේද නිපදවීම මෙහි කාර්යභාරයයි.

    නියඟයන්ට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබඳ ඉදිරිපත් කෙරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිතුමා මෙහිදී සවන් දුන්නේ ය.

    එමෙන්ම බෝග කළමණාකරණය පිළිබඳ හැඳින්වීමක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ‍්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද ජනාධිතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    ඩ්‍රෝනර් තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කෙරෙන අයුරු ද ජනාධිපතිතුමා ඉදිරියේ ප‍්‍රදර්ශනය කෙරිණි.

    එමෙන්ම තවත් සුවිශේෂී කටයුත්තක් ද මෙහි දී සිදු විය. කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගය කරනු වස් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ඉන් අනතුරුව ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා (Dr. Matthew Morell)  ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීය.

    ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා කෘෂිකර්මාන්තය පිළිබඳ දක්වන උනන්දුව මෙහි දි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැඩි ඇගැයීමට ලක් වූ අතර සෑම රාජ්‍ය නායකයෙකුම කෘෂිකර්මාන්තය පිළිබඳ මෙවන් පැහැදිළි දර්ශනයකින් සහ උනන්දුවකින් කටයුතු කරන්නේ නම් කෘෂිකර්මාන්තයේ නව විප්ලවයක් ලොව පුරා සිදු වනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

    දේශගුණික විපර්යාස හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සහ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා ලෝක සහල් පර්යේෂණායතනයේ සහය ඇතිව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා වෙත පැහැදිළි කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කිරීම තම අපේක්ෂාව බවයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් තෙවතාවක් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරික්ෂණ චාරිකාවන්හි නිරත වූ අන්දම සිහිපත් කළ ජනාධිපතිතුමා අද ජනාධිපතිවරයා ලෙස සිව් වන වරටත් මෙම ස්ථානයට පැමිණීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ අතර කෘෂිකර්මාන්තයට ලැදි නායකයෙකු ලෙස තමා සහ මෙම ආයතනය අතර ඇත්තේ සමීප සබඳතාවයක් බව ද කියා සිටියේ ය.

    අද මෙම පරිශ‍්‍රයේ බිම් කොටසක් තමා නමින් නම් කර ලබාදුන් ඉහළම ගෞරවයට කෘතවේදිත්වය පළ කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

    ආසියානු කලාපයේ රටවල මෙන්ම ලොව පුරා ජනතාව දිළිඳුබවින් මුදා ගනිමින් කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය ඉටු කරන කාර්යභාරය මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

    මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya