මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේ දී පියවර ගන්නවා- අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 18, 2019

    පුංචි දරුවන් ඊතල වගෙයි, නිවරැදි ඉලක්ක වෙත ඔවුන් යොමු කිරීමේ දී දුන්නක් මෙන් නිවරැදිව ක්‍රියාකිරීමේ වගකීම ගුරුවරුන්ටත්, මාපියන්ටත් පැවරෙනවා යැයි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    2019 වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ඊයේ (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විය. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පුංචි දරුවන් ඊතල මෙන් ක්‍රියාකරන විට ගුරුවරුන්, මව්පියන් ඇතුලු වැඩිහිටියන් දුන්නක් මෙන් ක්‍රියාකොට ඔවුන් නිවරැදි ලෙස ඉලක්ක ගත කිරීමට ක්‍රියාකළ යුතු බවයි.

    රටක අනාගත ඉරණම අධ්‍යාපනය මත ගොඩ නැංවෙන බැවින් නිදහස් නිවහල් පුරවැසියෙකු තැනීමේ කාර්යභාර්ය වෙනුවෙන් වත්මන් රජය විශාල දායකත්වයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති ළඟම පාසල හොඳම පාසල, ශිෂ්‍ය උපදේශනය, ගුරු පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණය සමඟ අධ්‍යාපන නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද සිහිපත් කළේය.

    දරුවන්ගේ ළමා කාළයේ සුන්දරත්වය පවා ඔවුන්ට අහිමි කරමින් අද වනවිට ඇතැම් දරුවන් පරීක්ෂණාගාරවල රොබෝවන් බවට පත් කර ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා 5 වසර ශිෂ්‍යත්ව විභාගය වැනි අති ධාවනකාර විභාග හේතුවෙන් දරුවන්ට සිදුවන බලපෑම පාලනය සඳහා ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    එමෙන්ම අ.පො.ස. (සා.පෙළ) සහ (උ.පෙළ) විභාග පිළිබඳ දරුවන්ට එල්ලවන අනවශ්‍ය පීඩනය අවම කරමින් සියලු විභාග ප්‍රශ්න පත්‍ර විෂය නිර්දේශ සහ අදාළ විෂයයේ ඉගෙනුම් ඵල ඇසුරින් සකස් කිරීමට පියවර ගැනීම සම්බන්ධව ද අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් ක‍ෙළේය.

    සොබාදහම සහ සතා සිවුපාවුන්ට ආදරය කරන පිරිපුන් පුරවැසියෙකු බවට දරුවන් පත් කිරීමේ අරමුණ ඇතිව මෙවර පළමු ‍ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයට සමගාමීව විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

    දිවයිනේ ක්‍රියාත්මක පාසල් 10,194 අතුරින් පාසල් 9,193 ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර මෙවර 340,000 කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වේ. 2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද දිවයින පුරා උත්සවාකාරයෙන් සිදු කෙරුණු අතර පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇතිකරලීමේ අරමුණින් “එකට වවමු එකට වැඩෙමු” රුක් රෝපණ වැඩසටහන ද ආරම්භ කෙරුණි.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya