මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සෞඛ්‍ය අමාත්‍යාංශයට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රකාශය බොරුවක්- සුව ඇමැති

    ජනවාරි 17, 2019

    පසුගිය වසර 04 තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි පැවැසෙන දුෂණ සහ වංචා පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට කළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    “රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ සහ වංචා සෙවීමට ජනාධිපති කොමිසන් සභාවක් පත් කරනවා කියලා. මට ජනාධිපතිවරයා සදුදා (14) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙන විට මම හිටියේ රාගම ශික්ෂණ රෝහලේ උත්සවයකයි. ඉන් පසු ජනාධිපතිවරයා අඟහරුවාදා මා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ ජනාධිපති කොමිසන් සභාවක් පත් කරන බවට තමන් කිසිම අවස්ථාවක පොරොන්දු නොවූ බවයි. යම් අමාත්‍යාංශයකට විරුද්ධව ජනාධිපති කොමිසන් සභාවක් පත් කරන්න තමන්ට බලයක් නොමැති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. රජයකට විරුද්ධව කොමින් සභාවක් පත් කරන්න පුළුවන් කියලත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

    “තව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඇමැතිවරයෙකුට එල්ල වී ඇති දුෂණ චෝදනා අභිබවා මට දුෂණ චෝදනා එල්ල වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා තිබුනා. මේ පිළිබදවත් මම ජනාධිපතිවරයාගෙන් විමසුවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා එය බොරු ප්‍රවෘත්තියක් කියලා. මේ ගැන මම වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ද විමසූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා පිළිපීන සංචාරය නිමකොට දිවයිනට පැමිණි පසු මා සමග සාකච්ඡාවක් කරන්නත් පොරොන්දු වුනා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තුට්ටුදෙකේ දේශපාලන පක්ෂයක අතකොළුවක්. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු නිලධාරින් සහ මම ඊයේ සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිදු කරන තර්ජන ගර්ජන සහ විවිධ ක්‍රියා පිළිබද තොරතුරු මට ලබාදුන්නා.

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ඔවුන් විමසා සිටියා. ඇතැම් තරුණ වෛද්‍යවරුන් බියට පත් කර සාමාජිකයින් ලෙස රඳවා ගෙන සිටීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කටයුතු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව එම සංගමයේ සභාපතිවරයා එල්ල කළ චෝදනා පිළිබද විමර්ශණය රාජ්‍ය සේවා කොමිසන් සභාව සිදු කළා. ඒ පිළිබදව විමසූ විට රාජ්‍ය සේවා කොමිසන් සභාව පැවසුවේ විමර්ශණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළත් මෙතෙක් කිසිවක් සිදු නොවූ බවයි. අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ද අල්ලාගෙන මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන කල්ලියක් තමයි දැන් ඉන්නේ.

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලවරණ වලදී ද දුෂණ, වංචා සිදු කරනවා. ඊට එරෙහිවත් ක්‍රියාමාර්ග ගත යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න අය දේශපාලනය සිදු කරන්නේ. දින 53 ක දේශපාලන අර්බුදය සමයේ ඊනියා රජය පිළිගන්නා ලෙසට තානාපතිවරුන්ට පවා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම් දී තිබෙනවා. වෛද්‍යවරුන්ගේ නිල නාමය භාවිත කරලා ඔවුන් කරන්නේ දේශපාලනයක්. ජනාධිපතිවරයාගේ නම පවා භාවිත කරලා බොරු ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් පහත් තත්ත්වයට වැටී තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලැබෙන පැමිණි පිළිබදව ද නිසි විමර්ශණයක් සිදු කළ යුතුයි.

     

    වෛද්‍ය සභාවේ නිලවරණය පැවැති දින ගැටුමක් ඇති වුනා. ඒ පිළිබද ලැබුන පැමිණිල්ල විභාග කිරීමට යාමේ දී විනය කමිටුවේ සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන පුද්ගලයින් දෙදෙනෙක්. එම දෙදෙනා ද ගැටුමට සම්බන්ධයි. එම නිසා තමයි මම බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව වගේ ස්වාධීන වෛද්‍ය සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කළේ. වෛද්‍ය සභාවේ ක්‍රමවේදය වෙනස් කිරිමට කමිටුවක් පත් කර තිබෙනවා. වෛද්‍ය සභාවේ තනතුරු සදහා ඇතැම් මහාචාර්යවරුන් පැමිණීමට මැළිකමක් දක්වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් සිදු කරන තර්ජන හා ගර්ජන නිසයි.

     

    එම තර්ජන හා ගර්ජන වලට මුහුණ දිය හැකි කෙනෙකු පත් කළ හැකියි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද්වේෂ සහගතව මට පහර ගහනවා. එතන ඉන්නවා කවදා හරි සෞඛ්‍ය අමාත්‍යධූරය බලාපොරොත්තුව සිටින කෙනෙක්. ඔහුට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ආසනයක් ලබාදෙන්නම් තරඟ කරලා පාර්ලිමේන්තුවට එන්න කියලා. ඇතැම් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබදව හොඳ කියද්දී එක කල්ලියක් විවේචනය කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya