අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයාගේ තෛපොංගල් පණිවුඩය

    ජනවාරි 15, 2019

    තුති පිදීම, පරෝපකාරය, සාමූහිකත්වය,පොදුමහත් සමාජය වෙත සමෘධිය ප්‍රාර්ථනා කිරීම වැනි වැදගත් හරවත් සාරධර්ම රැසක් ඔප්නංවන තෛපොංගල් මගින් දෙන පණිවුඩය සමස්ත ලෝකයටම සර්ව කාලීනව වැදගත් බව කතානායක කරූ ජයසූරිය මහතා තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

     කථානායකතුමාගේ තෛපොංගල් දින සුභපැතුම් පණිවුඩය

    මිහිපිට පවතින සකලවිධ ජීවයෙහි පැවැත්ම පදනම් වන්නේ සූර්යාගේ ශක්තිය මත බවට නූතන විද්‍යාව මඟින් තහවුරු කිරීමට වසර දහස් ගණනකට පෙර නිවැරදිව අවබෝධ කරගත් පැරණ්නන් විසින් හිරු දෙවියන් කෙරෙහි වන්දනාමාන කිරීම සෑම ශිෂ්ඨාචාරයකම පොදු ලක්ෂණයකි.

    සැබැවින්ම, සූර්යා මූලික කරගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීමේ මෙම චාරිත්‍රය උසස් මානව ගුණයන් ප්‍රකට කරවන අවස්ථාවකි.

    විශේෂයෙන්ම ස්වකීය භවභෝග සම්පත් වර්ධනයට උපකාරී වු ගව මහේෂාදී සතුන් කෙරෙහි ද, මෛත්‍රි සහගතව සත්කාර කිරීම වැනි චාරිත්‍ර හින්දු ආගමික දර්ශණය තුල ගැබ් වු අතිශය සියුම් මානුෂික ගුණාංග ප්‍රකට කරවයි.

    හින්දු ආගමික විශ්වාසයන්ට අනූව සූර්ය ශක්තියෙන් ජනිත වූ සිය භවබෝග සම්පත් නෙලා ගැනීමෙන් අනතුරුව හිරු දෙවියන් උදෙසා පවත්වනු ලබන අසිරිමත් අස්වනු මංගල්‍ය වන තෛපොංගල් යනු වසර දහසකට පමණ පෙර චෝල රාජ්‍ය සමය දක්වා දිවෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් අසිරිමත් සංස්කෘතික උළෙලකි.

    තුති පිදීම, පරෝපකාරය, සාමූහිකත්වය,පොදුමහත් සමාජය වෙත සමෘධිය ප්‍රාර්ථනා කිරීම වැනි වැදගත් හරවත් සාරධර්ම රැසක් ඔප්නංවන තෛපොංගල් මගින් දෙන පණිවුඩය සමස්ත ලෝකයටම සර්ව කාලීනව වැදගත්වේ.

    එම වැදගත් සාරධර්ම පද්ධතිය හා සමීප වෙමින් නව අවුරුදු උදාවේ නව ආරම්භයකට සැරසෙන සකල ශ්‍රී ලංකාවාසී සහෘද දමිළ ජනතාවටත්, සමස්ත ලෝකවාසී ජනතාවටත් සියළු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත සමෘධිමත් තෛපොංගල් සැමරුමකට ආසිරි පතමි.

     

    කරු ජයසුරිය

    කථානායක

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya