අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිස්සේ තල්මසුන් නැරඹීමේ බෝට්ටු සේවා විධිමත් කිරීමට කඩිනම් පියවර

    ජනවාරි 13, 2019

    මිරිස්ස සංචාරක කලාපය ආශ්‍රිතව ප්‍ර‍කට වී ඇති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ උද්ගත වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත දී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයෙහි දී පැවති අතර එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් ගරු අමාත්‍යතුමාගේ අවධානය ඊට යොමුවෙමින් ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සංවිධානය කෙරිණ.

    ඒ නිකුත් වී තිබෙන ගැසට් නිවේදනයට අනුකූලව මිරිස්ස ප්‍රදේශයේ අදාළ සංචාරක සේවා කටයුතු විධිමත් කිරීම සහ ඊට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ අරමුණෙනි. මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කර සිටියේ සංචාරකයින්ට සේවා සැපයීමේ දී මගීන්ගේ ආරක්ෂාව හා තල්මසුන්ගේ ආරක්ෂාව වැදගත් සාධක වන බවයි.

    එසේම එක් වරකදී ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව පිළිබඳ අමාත්‍යවරයා එහිදී අදහස් විමසීය. ඒ අනුව බෝට්ටු තුළ ගෙනයන මගීන්ට ආරක්ෂාව සලසනු වස් එම බෝට්ටු වල වේගය, දුර හා වරකදී ප්‍ර‍වාහනය කරනු ලබන මගීන් සංඛ්‍යාව යනාදිය ප්‍ර‍මිතිගත නිර්ණායක මත පදනම්ව සිදුකළ යුතු බව  වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධව තල්මසුන් නැරඹීමේ හා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ද සිය එකඟතාව පල කර සිටි අතර ඒ අනුව එක් බෝට්ටුවක ගෙනයන මගීන් සංඛ්‍යාව කුඩා බෝට්ටුවක දී 35 ක් හා විශාල බෝට්ටුවක දී 70 ක් වශයෙන් නිශ්චිත ප්‍ර‍මාණයකට යටත්ව සිදු කළ යුතු බවට අදහස් පළ විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා බෝට්ටු සේවා සපයන්නන්ට විශේෂ සහන රැසක් ලබාදීමට ද සිය එකඟතාව පළ කළේය. ඒ අනුව සාකච්ඡා කළ කරුණු සහ අදාළ ගැසට් නිවේදනයට අනුකූලව බෝට්ටු සේවාව ප්‍ර‍මිතිගතව පවත්වාගෙන යාම සඳහා සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව අවධාරණය කළේය. එහිදී බෝට්ටු සේවාව කර්මාන්තයක් වශයෙන් නගා සිටුවීමේ දී බෝට්ටු ක්‍රියාකරුවන්නන් සහ වන ජීවී නිලධාරීන්ට අවශ්‍ය අත්දැකීම් සහ දැනුම විශේෂ අවශ්‍යතාවක් වන බැවින් ඔවුන්
    ඒ සඳහා අවශ්‍ය විදේශ පුහුණු වැඩසටහන් වෙත යොමු කිරීම වැදගත් වන බව කියා සිටියේය. ඒ අනුව බෝට්ටු සේවාවන්හි දුර හා වේග සීමා නිශ්චය කිරීම, තල්මසුන්ට වන හානිය අවම කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාදීමේ (Online ticketing system) ක්‍ර‍මවේදයක් සැකසීම යනාදී නිර්ණායක මත පදනම්ව අදාළ බෝට්ටු සේවාව පවත්වාගෙන යාම සඳහා ගරු අමාත්‍යතුමා උපදෙස් ලබාදීම මෙහිදී සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් අලුවිහාරේ මහතා , වැලිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍ර‍ධාන නිලධාරීන් සහ තල්මසුන් නැරඹීමේ හා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya