අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව ඉදිරියේ බොරු පැවසූ දේශපාලන කොටස් ජනතාව ඉදිරියට යාමට බියක් දක්වනවා

    දෙසැම්බර් 03, 2018

    යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් සමාජ කොට්ඨාශ අතර ඇතිවන ගැටුම් ඊපීඩීපී සංවිධානය විසින් නිර්මාණය කරන බවට ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ගෙනයනු ලබන ප්‍රචාරය සම්පුර්ණයෙන් අසත්‍ය හා සාවධ්‍ය ප්‍රකාශයක් බව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය සහ ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පවසා සිටියේ පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ දේවානන්දා මහතා,
    දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමට විවිධ සංවිධාන ආයූධ හා ප්‍රචණ්ඩත්වය මුදා හැරියද ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ප්‍රජාතන්තාවාදී ක්‍රමයෙන් ජනතා ගැටළු විසදා ගැනීමට ඊපීඩීපී සංවිධානය කැපවූ අතර අදටත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරන බව දේවානන්දා මහතා පැවසීය.

    ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරේ ඒක් දේශපාලන න්‍යායකුත් දකුණට පැමිණ තවත් දේශපාලන න්‍යායකත් යෙදමින් දෙබඩි දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක්. දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව හගවමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සහ කරනවා.

    දේශපාලන සිරකරුවන් නිදහස් කර ගන්නවා, හමුදාව උතුරෙන් පන්නා දමනවා, දෙමළ ජනතාවගේ ඉඩම් යළි ලබා දෙනවා යන පොරොන්දු ලබා දෙමින් දෙමළ ජනතාවගේ ජන්දය ද්‍රවිඩ ජාතික සන්ධානය යහ පාලන රජයට ලබා දීමට කටයුතු
    කළද පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කර නැහැ. දිනෙන් දින ද්‍රවිඩ ජාතක සන්ධානයේ ඡන්ද පදනම පහළ යන බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තිබු ජන්ද ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු වී අපේ ජන්ද පදනම වැඩි වී තිබෙනවා.

    ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂ 6 ක සන්ධානයක් වන අතර දැනටමත් ටෙලෝ,ඊපීආර්එල්එෆ් හා තමිල් අරසු කච්චි යන පක්ෂ ඉන් ඉවත් වී තිබෙනවා. එමනිසා ද්‍රවිඩ ජාතික සන්ධානයට තිබූ ජනමතය ක්‍රමයෙන් පහව යමින් තිබේ.
    උතුරු පළාත් සභාව කිසිම වැඩක් නැහැ. දකුණේ ඉදන් කියනවා බලය නැහැ මුදල් නැහැ කියලා. ඒක ලැබුණම වැඩක් කරන්නනේ නැහැ. දූෂණ චෝදනා විතරයි. මධ්‍යම රජයෙන් උතුරට ව්‍යාපෘති වැඩසටහන් ගෙනාවම ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ.

    වර්තමානයේ පවතින දේශපාලන අර්බුදයට එකම විසුදුම ජනතාව ඉදිරියට ගොස් විසදා ගැනීමයි. අධිකරණයෙන් ලැබෙන තීන්දුව කුමක් වූවත් අප භාර ගැනීමට සූදානම්. අපේ පක්ෂය වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකට යාමට භය නැහැ. ජනතාව ඉදිරියේ බොරු පැවසූ දේශපාලන කොටස් ජනතාව ඉදිරියට යාමට බියක් දක්වනවා.

    අපි කියන්නේ දෙමළ ජනතාවගේ ගැටළුව විසදීමට 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නිසා ජනමතවිචාරණයක් හෝ 2/3 බලයක් අවශ්‍ය නැහැ. දකුණේ මිනිසුන් සමග විරසකයක් ඇති කරගෙන උතුරේ ජනතාවගේ ගැටළු විසදන්න බැහැ. උතුරේ මෙන්ම දකුනේ ජනතාව සහයෝගයෙන් කටයුතු කළ විට සියළු ජන කොටස් වල ප්‍රශ්න විසදන්න පුළුවන්.

    නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා, උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදීම උදෙසා නිවාස 110,000 ඉලක්ක කර‌‌ෙගන ආරම්භ කරන ලද වැඩසටහන යටතේ මේ වර්ෂය අවසන් වීමට ප්‍රථමයෙන් නිවාස 15,000 ක වැඩ අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

    ආරක්ෂක හමුදාව විසින් ජනතාවගෙන් ලබා ගෙන ඇති ඉඩම් ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන අයුරින් ආරක්ෂක හමුදා සමග එකගාතාවයකින් යුතුව පියවරෙන් පියවර සිය ඉඩම් අයිතිකරුවන්ට මුදා හැරීමට කටයුතු කිරීම මගින් ජනතාව හා ආරක්ෂක හමුදාව අතර අන්තර් සබදතාවය ගොඩ නැගෙන බව පැවසීය. එමෙන්ම යුද්ධය හේතුකොටගෙන පීඩාවට පත්වූවන්ට හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ හා බරපතල තුවාල ලැබූවන්ට ඔවුන් කරන ලද පොලිස් පැමිණිලි සහතික කිරිමෙන් පසු ඒවා මුල්කරගෙන වන්දි ගෙවීමට කටයුතු යොදා ඇත.

    එමෙන්ම යුද්ධය නිසා සිය එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අපහසුවූ හා රැකියා විරහිත වූවන්ට ස්වයං රැකියා කරගෙන යාම උදෙසා පහසු ණය ක්‍රමයක් සකස් කිරීමට කටයුතු සූදානම් කර තිබේ. යුද්ධය නිසා ආබාධිත ත්තවයට පත්වූවන්ට, මියගිය අයගේ පවුල් වල ඥාතීන්ට, දේපළ විනාශවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන අතර විනාශයට පත් වූ ආගමික ස්ථාන, පාසල්, කර්මාන්ත, ව්‍යාපාර ස්ථාන වලට වන්දි ලබා දීම හා රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    හින්දු ආගමික ධර්මය ඉගැන්වීමට විශ්ව විද්‍යාල මට්ටමේ හින්දු ආගමික පීඨයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනු ලැබේ. කෘෂිකාර්මික කටයුතු සදහා උතරු පළාතේ වැව් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇති අතර, උතුරු පළාතේ භූ ගත ජලයට ලුණු මිශ්‍ර වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. එමගින් උතුරේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරිමලෙයි අයියප්පන් පූජනීය ස්ථානයට වන්දනා කටයුතු සදහා යාමට ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට රජයෙන් පහසුකම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ යටතේ තලෙයි මන්නාරම සිට රාමේෂ්වරන් දක්වා නැව් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එමගින් වන්දනාවේ යෙදෙන්නන්, සංචාරක හා ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් හා ඉන්දියාවේ සිට මව්බිම කරා පැමිණන ශ්‍රී ලාංකික සරණාගතයින්ට මෙමගින් පහසුකම් රැසක් හිමිවේ. මෙම නැව් සේවාව ආරම්භ කිරීම මගින් දෙරට අතර අඩු පිරිවැයකින් භාණ්ඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    උතුරේ තරුණ තරුණියන් විශාල රැකියා විරහිත භාවයකින් පෙළෙන බැවින් ඔවුන්ට රැකියා ලබා දීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව මාර්ග හා වෙළද කේෂ්ත්‍රයන් කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ඇත.

    එමෙන්ම උතුරු පළාතේ සංවර්ධන කටයුතු විධිමත් අයුරින් සිදු කිරීම සදහා සියළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කරමින් උතුරු සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට ද කටයුතු කරන බව අමාත්‍ය දේවානන්දා මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya