අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000 කට පළමු අදියර යටතේ ස්ථීර පත්වීම්

    නොවැම්බර් 29, 2018

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,400 කට වැඩි පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පත්වීම් 7000 ක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30 වැනි සිකුරාදා දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    දුගී දුප්පත්කම මෙරටින් තුරන් කිරිමේ අරමුණින් ආරම්භ කළ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ 27,000 කට අධික පිරිසක් සේවය කරනු ලබයි. එම සේවකයින් අතරින් 14,000 අධික සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මේ වනතුරු ස්ථිර පත්වීම් නොමැත. දිර්ඝ කාලයක් පුරා පැවැති මෙම සේවක ගැටලුවට විසඳුම් ලබා දීමට පැවැති විවිධ රජයන් උත්සාහ කර තිබුණද මෙම සේවකයින්ට සාර්ථක විසඳුමක් ලබා දීමට අසමත් විය. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකළ විමල් වීරවංශ අමාත්‍යවරයා ස්ථිර පත්වීම් නොමැති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,000 ක අධික පිරිසට ස්ථිර පත්වීම් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව පළමු අදියර යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 7000 කට ගරු අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රදානත්වයෙන් 30 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය. 

     

    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමෙ වැඩසටහන පිළිබදව බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (28) දින පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මෙරට සමෘද්ධි ව්‍යාපාරය 1995 වසරේදී ආරම්භ වනවා. ඒ ව්‍යාපාරය ආරම්භ වන විට සෑම වසමකටම එක නිලධාරියකු බැගින් බඳවා ගැනීම සිදුවුණා. මෙම ව්‍යාපාරය දෙපාර්තුමේන්තුවක් වූ පසුවත් මෙම සමෘද්ධි ව්‍යාපාරය තුළ 27,000 ක් පමණ සේවක මහත්ම මහත්මීන් සංඛ්‍යාවක් සේවය කරනු ලබනවා. මෙම 27,000 පමණ බල ඇණිය සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට යාමේදී අතෘප්තිමත් තත්ත්වයක් හට ගැනීම තුළ පසුගිය කාලයේදී ඔවුන් දුර්මුඛ වී තිබුණා.

    ත්‍රස්තවාදය පැරදවීමේ යුද ජයග්‍රහණයේදී ආරම්භක උත්තේජකය වූයේ සාමන්‍ය සෙබළාගේ ගැටළුවට විසඳුම් ලබා දීමයි. එයට හිටපු ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු අදාළ අංශ කටයුතු කරනු ලැබුවා. සාමන්‍ය සෙබළාගේ සපත්තුවේ සිට සියලුම ගැටළුවලට විසඳුම් ලබා දීම තුළ ඔවුන්ගේ මානසික උත්තේජනයට ශක්තියක් ලැබුණා. සමෘද්ධි ව්‍යාපාරයේද 27,000 ක පමණ බලකායක් සිටින නමුත් ඔවුන් විවිද හේතුකාරණා මත පැවරී ඇති භූමිකාව ඉටු කිරීමට යාමේදී ඒ සඳහා දක්වනු ලබන කැපවීම් සහඟත උනන්දුව දුර්මුඛ වීමක් ගෙවුණ වකවානුව තුළ අපට දක්නට ලැබුණා.

    මොවුන් ත්‍රිවිධ හමුදාව හා සමාන හමුදාවක් නොවුණාට මෙරට දුගීභාවය පැරදවීමේ සටනේ නියැලි සිටින දැවැන්ත හමුදාවක් ලෙස සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඔවුන් මානසිකව සවිමත්ව තමන් කරන රාජකාරිය පිළිබඳව තෘප්තිමත්ව සිතන්නට පටන් ගැනීම තුළ ඔවුන්ගෙන් සේවා ලබන්නන් ගැන සානුකම්පිතව බලන්නට හැකිවීමෙන් මේ දැවැන්ත ව්‍යාපාරයෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාබය ලබන්නට හැකිවෙනවා.

    මෙම අමාත්‍යධූරය භාර දෙනවාත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ඕනෑ කමින් ඉල්ලා සිටියේ සමෘද්ධි ව්‍යෘපාරය තුළ එහි සේවය කරන සේවක මහත්ම මහත්මීන් තුළ අසහනයට හේතු කාරණා වූ ගැටුළු සොයා බලා ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමට අවධානය යොමු කරන ලෙසයි.

    මෙම සේවක මහත්ම මහත්මීන් සමෘද්ධි බැංකු 1,073 ක් නියෝජනය කරනවා. 1995 වසරේදී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට මෙරට දුගීභාවය 28.8% ක් පැවති අතර දැන් එය 6.5% දක්වා අඩුව තිබෙනවා. එසේ අඩු ප්‍රතිශතයකට ගෙන ඒමට හැකිවීම සමෘද්ධි ව්‍යාපාරයේ කැපවීම් සහඟත භූමීකාවේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

    තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා අනාගතය පිළිබඳව යම් කිසි සුරක්ෂිතභාවයක් ඇති කර ගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය දෙපාර්තුමේන්තුවක් බවට පත් කරන්නැයි 1995 වසරේදී මෙම ව්‍යාපාරය ආරම්භ වූ පසු එහි සේවය කළ සේවක මහත්ම මහත්මීන් ඒ වකවානුවේ සිටි විෂයභාර අමාත්‍යවරුන්, ලේකම්වරු ඇතුළු සියලු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියා. වෘත්තිය සමිති හරහා ඔවුන් කාලයක සිට මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා. එම ඉල්ලීමට ඇහුන්කන් දීමක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ප්‍රධාන ආයතන 5 ක් වන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි පුනුරුත්ථාපන දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව එකතු කර එතෙක් සමෘද්ධි අධිකාරිය ලෙස පැවැති ඒ ව්‍යුහය දෙපාර්තුමේන්තුවකට පරිවර්තනය කරනු ලැබුවා. දිවිනැඟුම දෙපාර්තුමේන්තුව ලෙස හැදින් වු එය දැන් සමෘද්ධි දෙපාර්තුමේන්තුව ලෙස හඳුන්වනු ලබනවා.

     

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව නිර්මාණය වූ පසු මේ ආයතනවල සේවය කළ කාර්ය මණ්ඩලයට නව දෙපාර්තුමේන්තුවට අන්තර්ග්‍රහණය වන ක්‍රමවේද හතරක් මානාපය අනුව තෝරා ගැනීමට ඉදිරිපත් කරනු ලැබුවා. එම ක්‍රමවේද හතර ලෙස තමන් සේවයට පැමිණි දින සිට දෙපාර්තුමේන්තු ගත වීම, නව සේවකයින් ලෙස දෙපාර්තුමේන්තුවට එක්වීම, අර්ථසාධක අරමුදල් යටතේ රැදී සිටිය හැකිවීම, ඊටිඑෆ්, ඊපීඑෆ් සහ පාරිතෝෂිත මුදල් හා රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාගෙන විශ්‍රාම යාම හඳුන්වා දීමට පුළුවන්.

    මෙම 27,000 ක සේවක පිරිස නියෝජනය කරන වෘත්තිය සමිති මෙම ක්‍රමවේද හතරෙන් එකක් තෝරා ගනිමින් එහි සේවය කරන්නට එඟතාවයක් ඉදිරිපත් කර තිබුණා. 2015 ජනවාරී 08 පසුව දින 100 පාලන කාලයේදී මෙහි යම් කිසි මුල් සේවා කණ්ඩායමක් ඔවුන්ට විශ්‍රාම වැටුපට අමතරව ඊටිඑෆ්, ඊපීඑෆ් මුදල් ලබා ගැනීමට අයිතිය තිබෙනවා කියා අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා. එබැවින් ඔවුන්ගේ ඉල්ලීම ඉටුවන ආකාරයට අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නා. ඒ සමඟ ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා. පළමුවෙන් තෝරා ගැනීමට දුන් ක්‍රමවේද හතරෙන් පරිභාහිර තත්ත්වයක් අධිකරණ තීන්දුවත් සමඟ උත්ගත වුණා. මෙම ගැටළුව විසදෙනවා වෙනුවට එක තැන පල් වන්නට පටන් ගත්තා. සේවකයින් අසහනයට පත්වුණා. විවිද හේතුකාරණා මත හිටපු බළධාරින්ට කඩිනමින් විසඳුමක් ලබා දීමට නොහැකි වුණා.

    පසුගිය වසර තුන හමාරක කාලය තුළ අධ්‍යක්ෂක ජනරාල්වරු 09 දෙනෙකු සමෘද්ධි දෙපාර්තුමේන්තුවට තේරීපත්ව තිබෙනවා. එක් අධ්‍යක්ෂකවරයකු මේ සඳහා අවධානය යොමු කර විසඳුමක් සඳහා පියවර ගන්නා විට ඔහු මාරු වනවා. පසුගිය වසර තුනක කාලය තුළ අමාත්‍යවරුන් තිදෙනෙකු යටතට මෙම දෙපාර්තුමේන්තුව පත්වුණා. සේවකයින්ගේ දුක් ගැනවිලිවලට නිසි පිළිතුරු ලබා දීමට නොහැකිවීමට මෙයද හේතුවක් බවට පත්වුණා. හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරුන්, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මෙම ගැටලුව ඕනෑ කමින් විසඳීමට කාර්යක්ෂමව කැපවී තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, විශ්‍රම වැටුප් දෙපාර්තුමේන්තුවේ සමහර ගැටලු පැමිණි පසු ඒ සඳහා කටයුතු කර තිබෙනවා. පූර්වගාමී අමාත්‍යවරුන්ද මේ ගැටළු විසදීම සඳහා යම් යම් උත්සහයන් දරා තිබෙනවා. එය මා අගය කොට සළකනවා. කවර තත්ත්වයක් යටතේ හෝ මෙම ගැටලුවට පරිපූර්ණ විසඳුමක් ලබා දීමට නොහැකි වී තිබෙනවා. මේ කාලය තුළ විශ්‍රාම ගිය නිලධාරින් 119 දෙනෙකු සිටිනවා. 

     

    කිසිදු හිමිකමක් නොමැතිව මියගිය සංඛ්‍යාව 178 ක් පමණ වන බව වාර්තා වනවා. ඔවුන්ට හිමිවිය යුතු අයිතීන් නොලැබී ගිය තත්ත්වයක් දක්නට ලැබුණා. සේවක පිරිසක් ඉදිරිපත් කළ විශ්‍රාම වැටුපට අමතරව ඊටිඑෆ්, ඊපීඑෆ් මුදල් ලබා ගැනීමට අයිතිය තිබෙනවා කියු දේ තවම අධිකරණයේ තවම විභාගයට ගැනෙනවා. චක්‍රලේඛන, නීතිරිතිවලට අනුව රජයේ දෙපාර්තුමේන්තුවල ඒ දෙකම ලැබෙන්නේ නැහැ. ඒ නඩුව අවසන් වෙනවා යැයි සිතා මේ ගැටලු තියාගෙන සිටීම තුළ හෙට දවසේ මිය යන පුද්ගලයා මිය යන්නේද විශ්‍රාම යන පුද්ගලයා විශ්‍රාම යන්නේද අසරණයෙක් ආකාරයටයි.

     

    නඩුවේ තීන්දුව අනුව අනාගතයේදී මෙම ප්‍රතිලාභීන්ට මීට වඩා ප්‍රතිලාභ ලබා දිය යුතු නම් අතීතයට බලපාන පරිදි හෝ ප්‍රතිලාභ ලබා දීමට හැකිවේවි. විෂයභාර අමාත්‍යවරයා ලෙස මා සහ ලේකම්වරු එකතුව මේ සාමූහික තීන්දුවට එළඹෙනු ලැබුවේ. වෘත්තිය සමිති සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ අයගේද එකගතාව මතයි මෙම තීරණය ගනු ලැබුවේ.

     

    ඉහත කී ක්‍රමවේද හතර අතරින් මුල් සේවා පත්වීම් ලැබූ පිරිස 8,146 ක් සිටිනවා. ඒ පිරිසට දෙපාර්තුමේන්තු පත්වීම් හිමිවී තිබෙනවා. නව සේවාවන් ලෙස ඇතුළත් වූ පිරිස 14,498 ක් සිටිනවා. එයින් 7,000 සේවක පිරිසක් අවස්ථා හතරින් එකක් තෝරා ගැනීමට ලබා දුන් පසුව මුල් සේවා ක්‍රමයට ඇතුළත් වන්නට ඉල්ලා තිබෙනවා. එසේ මුල් සේවා ක්‍රමයට ඇතුළත් වන්නට ඉල්ලීම් කළ 7,000 කට ආසන්න පිරිසට අප පසුව පත්වීම් ලබා දෙනවා. ඔවුන්ගේ ගැටලුවද ඉදිරි කාලයේදී විසදනු ලබනවා. මුල් සේවා ක්‍රමයට යෑමට කැමැත්ත පළ කළ පිරිසට අමතරව ඉතිරිවන 7000 ක පිරිසට මේ සිකුරාදා දිනයේදී සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පත්වීම් ලබා දීමට කටයුතු කරනවා.

    අධිකරණයේ පවතින නඩුව හේතුවෙන් යම් යම් කොන්දේසි මත මෙම පත්වීම් ලබා දීම සිදු කරනු ලබනවා. ඔවුන්ද එම කොන්දේසී සඳහා එකඟ වී තිබෙනවා. අධිකරණ නඩුවේ තීන්දුවට අනුව අවශ්‍ය වෙනස්කම් සිදු කරන්නට සේවක පර්ශවයෙන් හා ආයතනය පැත්තෙන්ද එකඟ කරගෙන තිබෙනවා. විශ්‍රාම වැටුප, විශ්‍රාම පාරිතෝෂිතය, මරණ පරිතෝෂිතය නොමැතිව සේවය කරන්නට සිදු වූ දැවැන්ත සේවකයින් ප්‍රමාණයකගේ මූලික ප්‍රශ්න රැසක් මේ හරහා විසදෙනවා. මෙම පත්වීම් ලැබීමෙන් පසුව මොවුන්ට වැඩ බැලීමේ දීමනාද, වැඩිකළ වැටුප මූලික වැටුපට එකතුවනවා. ඔවුන්ට බැංකු ණය ලබා ගැනීමේ පිටිවහලක් ලැබෙනවා.

     

    එවිට සමස්ථයක් ලෙස 14,498 දෙපාර්තුමේන්තු පත්වීම් ප්‍රශ්නය කෙටි කාලයක් ඇතුළත නිරාකරණය වෙනවා. ඊට අමතරව ඊටීඑෆ් සහ ඊපීඑෆ් ලබාගෙන විශ්‍රාම වැටුප නොලබා ඉන්නට කැමැත්ත පළ කළ 1,038 ක සේවක සංඛ්‍යාවක් සිටිනවා. මේ සියලු දෙනාගේ එකතුව 23602 ක්. සේවයෙන් ඉවත් වූ පිරිස 1,501 ක් සිටිනවා. මීට අමතරව දක්ෂිණ අධිකාරියට, මධ්‍යම සංවර්ධන අධිකාරිය වැනි ආයතනවලට අයත් සේවකයින් සිටිනවා 27,000 ක් වන සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් අතර. අලුතින් බඳවා ගත් 1500 ආසන්න පිරිසක්ද ඒ ඇතුළත සිටිනවා.

     

    උඩරට ගැමි පුනරුප්තාපන දෙපාර්තුමේන්තුව, සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව සිටින නිලධාරින්ට මුල සිටිම විශ්‍රාම වැටුප් ලැබීමේ අයිතිය තිබෙනවා. ඒ පිරිසට අප නැවත කිසිවක් ලබා දීමට අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය යන ආයතනවල සේවකයින් පමණක් මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුවුණා. මේ සියලු දෙනාගේ එකතුව 23,602 කි.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම් සමන් උඩවත්ත, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු ජ්‍යේෂඨ නිළධාරීහූ පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya