අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට යළි ගොඩනංවන්නේ වත්මන් ආණ්ඩුවයි- අමාත්‍ය විමල් වීරවංශ

    නොවැම්බර් 21, 2018

    රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

    පසුගිය පාලකයින් මෙරට තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබා දෙන බවට පොරොන්දු ලබා දී රාජ්‍ය ආයතන වලට දරා ගත නොහැකි අයුරින් දෛනික දීමනා යටතේ රැකියා ලබා දී ඔවුන්දේශපාලන වහලුන් බවට පත්කර ගෙන ඇති බවද නිවාස හා සමාජ
    සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් නීතීඥ පාලිත ගමගේ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් එම අධිකාරයේ සේවක මණ්ඩලය ඇමතූ අවස්ථාවේදිය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “මෙම අමාත්‍යාංශයට 2001 – 2004 පාලන සමය තුළ රිග්‍රේනීන් ශ්‍රී ලංකා (යළි පුබුදමු ශ්‍රී ලංකා) නැමැති වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසා දැමිය යුතු ආයතන ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා.

    වසා දැමිය යුතු යැයි තීරණය කර තිබූ රාජ්‍ය ආයතන අතර මේ ආයතනයද නම් කොට තිබුණා. ඒ වකවානුවේ මෙරට දූගී දුප්පත් ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපූරාලීමට රාජ්‍ය ආයතනයක් තවදුරටත් අවශ්‍ය නොමැති යැයි මතයක සිට මෙම ආයතනය වසා දැමීමට තීරණය කර තිබුණා.

    අප නායකත්වය ලබා දුන් අවුරුදු තුන හමාරක ඇතුළත කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අසීරු තත්ත්වයෙන් මුදවාලමින් ජාතියේ අවධානය දිනාගත් මෙරට දුගී දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවන ආයතනයක් බවට පරිවර්තනය කරන්නට හැකිවුණා. අපේ ආණ්ඩුව කාලයේදී හිටපු සභාපතිතුමන්ගේ සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජීකයින්ගේ සහ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම හා උනන්දුව මත පැවතුණ තත්ත්වයේ සිට සුරක්ෂිත තත්ත්වයකට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පරිවර්ථනය කිරීමට හැකිවුණා.

    ඒ කාලයේදී අමාත්‍යවරයා ලෙස තමන් රැකියා ලබා දීම සඳහා මෙම ආයතනය තෝ තැන්නක් බවට පත් කර ගත්තේ නැහැ. ආයතනයට දරාගත හැකි ප්‍රමාණය තක්සේරු කර ආයතනයේ පවතින පුරප්පාඩු බලමින් ඒ අනුව රැකියා අවස්ථා නිර්මාණය කරනු ලැබුවා මිස ආයතනයට බරක් වන සේ තොග වශයෙන් රැකියා ලබා දීම අප සිදු කළේ නැහැ.

    නමුත් පසුගිය කාලයේ දෛනික දීමනා නමින් අහිංසක තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබා දීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ මනසේ දල්වා ඔවුන් දේශපාලන කටයුතුවල වහලුන් බවට පත් කර ගත්තා. ඒ වහල් බවට ලක්වූ කිහිප දෙනෙකු ඊයේ දිනයේත් ඒ වහල් භූමිකාවට සඳහා පිටව ගිය බව මට දැන ගන්නට ලැබුණා. ඒ පිරිසට අප අනුකම්පා කරනවා.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යම් යම් දේශපාලන උවමනාවන් සඳහා භාවිතා කරන තිත්පොළක් බවට පත් කර ගන්නට ඉඩ දෙන්නට බැහැ. මෙය රටට සේවා සපයන්නට තිබෙන ආයතනයක්. පසුගිය කාලයේදී මෙහි සමහර දිස්ත්‍රික් කළමනාකරුවන් අසාධාරණ අයුරුන් මාරු කිරීම් , වැඩ තහනම් කිරීම් වලට ලක්වුණා.

    අපගේ පාලන සමයේදී සේවක සුබ සාධනය පැතිකඩද අප උනන්දුවෙන් සොයා බැලුවා. සුබ සාධන අරමුදලේ සිදුව තිබූ අකටයුතුකම් සොයා බලා එයට විරුද්ධව පියවර ගත්තා. ඒ අරමුදල ශක්තිමත් කිරීමට පියවර ගත්තා. මේ සෑම දෙයකින්ම මේ ආයතනයේ කීර්ති නාමය බබළවන්නට අප කටයුතු කළා. මුල් වකවානුවේදී මේ ආයතනයට සෙසු රාජ්‍ය ආයතන තුළ තීබූ වටිනාකමක්, පිළිගැනීමක් තිබුණානම් ඊට සමානව හෝ සමීප පිළිගැනීමක් හා ගෞරවයක් මේ ආයතනයට ලැබෙන ආකාරයෙන් අවශ්‍ය වැඩ කටයුතු කිරීමට අපට හැකිවුණා.

    නමුත් රටේ ජනතාවට එදා වැඩි වෙනසක් අවශ්‍යව තිබූ බැවින් වෙනසක් සොයා ගියා. ඒ වෙනසේ ආදීනව අද බොහෝ දෙනෙකුට මේ වනවිට තේරුම් ගොස් ඇතැයි මා සිතනවා. වෙනස සොයා ගිය පිරිසමට දිට්ඨ ධම්ම වේදනීය කර්මය මෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙනවා. පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නට තීන්දු කළා. ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යාමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්භාවිකවම විසුරුවා හැරීමකට ලක්වුණා. නව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ව පත් කළා. ඉදිරි මහ මැතිවරණයේ භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද , ඉදිරි මහ මැතිවරණයේදී බලය පිහිටුවන්නේද මේ ආණ්ඩුව බව මා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.

    කලින් මා අමාත්‍යධුරය දරණ අවස්ථාවේදී අපට හිමිව තිබුණේ නිවාස හා ඉදිකිරීම් කියන අමාත්‍යාංශය පමණයි. දැන් අපට සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මේ අමාත්‍යාංශයට හිමිව තිබෙනවා. සියලු දෙනාම කුමන දේශපාලන මත දැරුවද ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සේවක මහත්ම මහත්මීන් ලෙස එකමුතු වී වැඩ කරමු යැයි මා පවසනවා. පටු න්‍යාය පත්‍රවලට ගොදුරු වන්නේ නැතිව මේ ගමන සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. වසර තුන හමාරක කාලයක් තුළ මෙරටට සිදු වූ විපත කොපමණ බරපතලද කියා හෘද සාක්ෂිය තිබෙන ඕනෑම අයකුට තේරෙනවා. පටු අත්මාර්ථකාමී ලෙස නොබලා රටත් ජාතියක් නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යෝධ භූමිකාව එක දිස්ත්‍රික්කයකට පමණක් පටු නොවන සේ කටයුතු කළ යුතුයි.


    කොළඹ දිස්ත්‍රික්කයේ යැයි පවසමින් මා නිවාස සංවර්ධන අධිකාරිය කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා කර ගත්තේ නැහැ. ඒ කාලයේ නිවාස සංවර්ධන අධිකාරීය මුළු රටේම එක හා සමානව වැඩ කරන ආයතනයක් බවට පත්වුණා. අමාත්‍යවරයකු යැයි කියන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයට තමන්ට ලැබෙන ආයතන පටු කර ගැනීම නොවෙයි. ජාතික ඇසකින් අපට ඒ දෙස බලන්නට හැකිවිය යුතුයි.

    අධ්‍යක්ෂක මණ්ඩලයක් නොමැති නිසා දෛනික දීමනාවට පැමිණි සේවක සේවිකාවන් ඔවුන්ට මේ මස හිමි වැටුප ලබා ගෙන යන්නටත්, අභියායචනා හෝ ඉල්ලීම් නැවත එනවා නම් අවශ්‍යතාව හෝ ආයතනයේ ඇති පුරප්පාඩු අනුව සළකා බලා ඒ පිරිස අසරණ නොවන ආකාරයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා.

    ඔබට දෛනික දීමනවාක් සහිත රැකියාවක් ලබා දුන් පසු ඔබව ඕනෑම අවස්ථාවකදී කැඳවා ඕනෑම දෙයකට ගෙන්වා ගත හැකියි. දෙමාපියන්වත් ගෙන්වා ගැනීමට හැකියි. ඔබ ස්ථිර රැකියාවක් ලැබූ පසු ඔබට කිසි දෙයකට ගෙන්වා ගත නොහැකියි. පසුගිය කාලේ ස්ථිර රැකියා මා ලබා දුන්නද ඔවුන් කිසිවකු මාගේ වැඩ සඳහා පැමිණියේ නැහැ. නමුත් ඔවුන් සමඟ අපට ගැටුමක් නැහැ. ඔවුනුත් දෛනික කොන්ත්‍රාත් පදනමේ තබා ගත්තා නම් ඔවුනුත් පැමිණෙන්නට තිබුණා. එබැවින් කිසිවකු දේශපාලන වහලුන් බවට පත් කර ගන්නට අපට අවශ්‍ය වන්නේ නැහැ.

    මේ ආයතනයට දරන්නට පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. සමහර දිස්ත්‍රික් කාර්යාලවල සේවකයන්ට වාඩි වන්නට ඉඩක් නැහැ. සමහර දිස්ත්‍රික් කාර්යාලවල සේවකයන්ට සතියකට දින තුනක් හෝ හතරක් පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. පුටු ටික සංගීත පුටු තරගය සේ පවත්වා ගෙන යන්නේ එළෙසයි.


    අපගේ පාලන කාලයේදී රැකියා ලබා දුන්නේ ආයතනය නගා සිටුවා එයට ඔරොත්තු දෙන්නට පුළුවන් තත්ත්වයකට ගෙන ඒමෙන් පසුවයි. මේ ආයතනය කඩා වැටෙන තත්ත්වයට පත්වන්නට නොදී සියලු දෙනා එකට එකතු වී ආයතනයේ උවමනාව වෙනුවෙන් කටයුතු කරන්න.

    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නීතිඥ පාලිත ගමගේ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස පත් කරුණු ලැබුවා. උප සභාපති ලෙස මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළා. ඔවුන් සියලු දෙනා හට සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ තොරතුරු රැසක් අපට ලැබී තිබෙනවා. සමහර තොරතුරු විවෘතව කතා කරන්නට නොහැකියි. විවෘතව කතා කිරීමට
    නොහැකි දේ පිළිබඳව ඔවුන් දන්නවා. සේවකයන්ගේ සේවිකාවන්ගේ තිබෙන අසරණකම් තමන්ගේ තුට්ටු දෙකේ ඕනෑ එපාකම් සඳහා භාවිතා කරන උප සංස්කෘතිය අද සිට වහාම නවත්වන ලෙස මා පවසනවා. අප හෝ වෙන කවුරුන් හෝ රැකියාව ලබා දුන්නත් ඒ අය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි.

    අප සියලු දෙනා ආයතනයේ කීර්ති නාමයත් රටේ ගෞරවයත් වෙනුවෙන් කැපවෙමු. අසාධාරණ මාරු කිරීම්වලට හා තාඩන පීඩනවලට ලක්වූ පිරිස් සඳහා ඒ සාධාරණය අප ඉටු කරනවා. අමාත්‍යාංශයේ නිලධාරියෙකු හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මීන් යොදවා කමිටුවක් රැස්කර ඒ පිළිබඳ සොයාබැලීම් සිදු කරනවා. මෙම ආයතනය පසුගිය කාලයේ පාලනය කරනු ලැබුවේ ජාතික සේවක සංගමයි. නිදහස් සේවක සංගමයට එකල තිබූ චෝදනාව අන්න ඒ භූමිකව කරන්නට නොදීමයි. වෘත්තිය සමිති හා පාලන අධිකාරිය එකට එක්ව සමගියෙන් අවබෝධයෙන් කටයුතු කළොත් ගැටුම් නැතිව ගමනක් යන්නට පුළුවන්. නිදහස් සේවක සංගමයට ඒ කාලයේ මේ ආයතනය පාලනය කරන්නට දුන්නා නම් මේ කාලේ වුණ දේ ඒ කාලෙත් සිදු වෙනවා. වෘත්තිය සමිති ගණනාවක් තිබෙනවා ඒ වෘත්තිය සමිති සමග එක්ව කටයුතු කරන්නැයි මා පාලන අධිකාරියට දැනුම් දුන්නා. ඔබගේ අදහස් සැලකිල්ලට ගෙන ලබා දිය හැකි සහයෝගය ලබා දෙනවා. ජාතික සේවක සංගමයට අපගේ කාලයේ තාඩන පීඩන එල්ල කළේ නැහැ. නමුත් නිදහස් සේවක සංගමයට පසුගිය කාලයේ තාඩන පීඩන රැසක් එල්ල වුණා. එම අඩු පාඩු නිවැරැදි කර ගනිමින් කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති නීතීඥ පාලිත ගමගේ, එහි උප සභාපති මොහොමඩ් මුසම්මිල්, යන මහත්වරු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ ඇතුළු සියලුම කාර්යය මණ්ඩල නියෝජනය කරමින් විශාල පිරිසක් සහභිගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya