අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වසර අවසන් වන විට පැල කෝටියක් සිටුවා අවසන් කරනවා- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති

    නොවැම්බර් 13, 2018

    පරිසර අමාත්‍යාවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එළඹෙන 2019 වසර පරිසරය සුරැකීමේ වසර ලෙස නම් කර පැළ කෝටියක් සිටුවීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමේ වගකීම තමන් වෙත පැවරූ බවත්, ඒ සඳහා අවශ්‍යය උපරිම සහයෝගය ලබාදෙමින් 2019 වසර අවසන් වන විට රට පුරා පැළ කෝටියක් සිටුවා අවසන් කිරීමට කටයුතු කරන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

    සභාපතිවරයා ඒ බව කියා සිටියේ හරිත වැලි තොටුපල ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසමින් කාර්යාංශ නිලධාරීන් සමඟ පැවති රැස්වීමට සහභාගී වෙමිනි. හරිත වැලි තොටුපල ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ වන විට ආරම්භ වී ඇති අතර පළමු අදියරේ අධීක්ෂණ කටයුතුවලදී තවමත් දුර්වල මට්ටමක පවතින දිස්ත්‍රික්ක පිළිබඳව විශේෂ වාර්තාවක් සකස් කරන ලෙසද කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතාට සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “පසුගියදා අපි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෝමාවතී පුදබිමේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කළා. අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසකට අනුව වන ඝනත්වය වැඩිකොට පරිසරය සුරැකීමේ වැඩසටහක් ලෙස ක්‍රියාත්මක වන රෝපා වැඩසටහනට සමගාමීවයි අපි මේ ‘ජල නිම්න හරිත අරණ’ වැඩසටහන දියත් කළේ. ඒ යටතේ දැනට අපි මන්නාරමේ අරිප්පු පාලම අසල මල්වතු ඔය ආශ්‍රිතව, ඉසුරුමුණිය රජමහා
    විහාර භූමියේ රුක් රෝපණ ව්‍යාපෘති දියත් කළා. පසුගියදා සෝමාවතියේ පැවැත්වූයේ තුන්වන වැඩසටහන. ඒ වගේම මේ මස 19 වැනිදා පොලොන්නරුවේ දිඹුලාගල මාදුරුඔය ආශ්‍රිතවද රුක් රෝපණ
    වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා.

    දැනට අප කාර්යාංශය යටතේ වැලි ගොඩ දැමීම නිසා හානියට පත් ගං ඉවුරු නැවත සංරක්ෂණය කිරීම සඳහා හරිත වැලි තොටුපල සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ විශාල පැල ප්‍රමාණයක් ලංකාව පුරා රෝපනය කරනවා. ඒ වගේම ජල නිම්න හරිත අරණ වැඩසටහන යටතේත් අප‍ගේ ප්‍රාදේශීය කාර්යාල හරහා රට පුරා හායනයට පත්වූ ප්‍රදේශවල මෙම රුක් රෝපනය සිදු කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන් අපේ මේ වැඩපිළිවෙල ගැන අපට ප්‍රශංසා කළා. එසේම මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ද ලබා ගැනීමට ද එතුමන් මට උපදෙස් දුන්නා.

     

    අපේ වැඩසටහන්වල විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි රෝපණය කරන සෑම පැලයක්ම ආරක්ෂා කිරීමටද වැඩපිළිවෙලක් සකස් කිරීම. මෙහිදී වන සතුන්ගේත්, වෙනත් පාරිසරික ආපදාවලිනුත් රෝපණය කරන ලද පැළ ආරක්ෂා කර ගැනීමට අප වගබලා ගන්නවා. ඒ වගේම අප සිටවූ සෑම පැළයක් ගැනම වාර්තාවක් මාස තුනකට වරක් ප්‍රධාන කාර්යාලයට සැපයීමට අපගේ ප්‍රාදේශීය කාර්යාල වලට උපදෙස් ලබාදී තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති තුළින් අප බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමන්ගේ
    ඉලක්කය සම්පූර්ණ කර ශ්‍රී ලංකාව නීල හරිත රටක් බවට පත් කිරීමටයි.”

     

    මෙම අවස්ථාවට කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා ඇතුලු ආයතනික ප්‍රධානීන් රැසක් සහ හරිත වැලි තොටුපල සම්බන්ධීකරණ කාර්යාලයේ කාර්ය මණ්ඩලයද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya