මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

    සැප්තැම්බර් 13, 2018

    හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    2018 යල කන්නය තුළ හෙක්ටයාර 5249 ක ලොකු ලූනු වගාකිරීමට අපේක්ෂා කළත්, ජූලි මස අවසන් වන විට ලොකු ලූනු වගා කර ඇත්තේ හෙක්ටයාර 1471 වන නිසා මෙවර අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව 50%ක පහළ යෑමක් සිදු විය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

     

    2018 යල කන්නය තුළ වගා බිම් ප්‍රමාණය අඩු වීමත් ඒ නිසා නිෂ්පාදනය අඩු වීමටත් ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු වන්නේ, දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පවතින නියඟ තත්වයත්, ලොකු ලූණු බීජ තවාන් දමන අවස්ථාවේ අධික වර්ෂාව නිසා බොහෝ තවාන් විනාශ වීමත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමත් ගොවින් වගාවෙන් ඉවත් වීම සහ යල කන්න ආරම්භයේ දී වර්ෂාව නොලැබුණු නිසා යල කන්නය ප්‍රමාද වීම වැනි හේතු නිසා ය.

     

    මෙවර යල කන්නයෙන් අපේක්ෂිත ලොකු ලූනු ප්‍රමාණය මෙ.ටො. 25,925ක් වන අතර, එයින් 3%ක් අගෝස්තු මස තුළ ද, 32%ක් සැප්තැම්බර් මස තුළ ද, අස්වැන්නෙන් 65%ක් ඔක්තෝබර් මාසයේදී ද ලැබීමට නියමිත ය. නමුත් වගා බිම් ප්‍රමාණයෙන් 50%ක් මාතලේ දිස්ත්‍රික්කය තුළ වගා කර ඇති නිසා ඔක්තොබර් මාසය වන විට මාතලේ දිස්ත්‍රික්කයට තදින් වර්ෂාව ලැබෙන හෙයින් එම අස්වැන්න වර්ෂාවට හසුවීමට ද ඉඩ තිබේ.

     

    කෙසේ වුවද මෙවර යල කන්නය තුළ වගාබිම් ප්‍රමාණය හා නිෂ්පාදනයන් පහළ යාම තුළ දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ප්‍රමාණවත් වන්නේ, මාසයකට පමණක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

     

    දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ලොකු ලූනු කිලෝවක් සඳහා රු.40ක විශේෂ භාණ්ඩ බද්දක් පනවනු ලැබී ය. අස්වනු නෙලා ගැනීමට මාස තුනකට කලින් මෙම බදු පැනවීම නිසා ගොවීන්ට ඉහළ මිලක් ලබා දීමට හැකිවිය.

     

    එහෙත් මේ සම්බන්ධයෙන් ජිවන වියදම් කමිටුව සතොස ආයතනය සමඟ සාකච්ඡා කර ඇති පරිදි දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80ක් බැගින් මිලදී ගැනීමට සතොස ආයතනයට ජීවන වියදම් කමිටුව උපදෙස් ලබාදී ඇති බවත්, ඒ අනුව සතොස මඟින් හොඳින් වියැලූ ලොකු ලූනු කිලෝවක් රු. 80 බැගින් මිලදී ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    සෑම වසරකම නොවැම්බර් සිට ජනවාරි දක්වා ලොකු ලූනු මිල ඉහළ යෑම සිදු වන බැවින් දේශීය බීජ වගා කොට ඇති ගොවීන්ගේ අස්වනු හැකිතරම් වගා කොට ප්‍රමාණකූලව වෙළඳපොළට බෙදා හැරීමට පියවර ගැනීම තුළ අනපේක්ෂිත මිල පහළ යෑම වළක්වා ගනිමින් ගොවීන්ට තම අස්වනු සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකිවන බව එම වාර්තාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya