මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති දුම්රිය සේවාව සඳහා විවෘත කෙරේ

    අගෝස්තු 18, 2018

    ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන දුම්රිය හරස් මාර්ගවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව පසුගිය වසර කිහිපය පුරාම වැඩිවෙමින් පැවතිණ. ඉන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර වාහන ඇතුළු දේපොළ විනාශවීම්ද සිදුවිණ. එම ලබාගත් දත්ත හා තොරතුරු අනුව 2016 වසරේදී ආරක්ෂණ විදුලි සීනු පද්ධති 200 ක අවශ්‍යතාවයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අතර එම විදුලී සීනු පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේ ආරම්භ කරන ලදී.

    මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුලු වටිනාකම ඇ.ඩො.මි. 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් හා ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.


    මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස් (Uni-Consultancy Services) ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.


    මෙම ව්‍යාපෘතිය යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගය තුළ පමණක් තනි මාර්ග විදුලී සීනු පද්ධති 132 ක් හා ද්විත්ව මාර්ග විදුලී සීනු පද්ධති 07ක් ස්ථාපනය කිරීමට නියමිත අතර ලබන 2019 ජනවාරි මස අවසන් වන විට මුහුදුබඩ මාර්ගයේ සියලුම අනාරක්ෂිත හරස්මාර්ග, විදුලි සීනු පද්ධති යොදා ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙයට අමතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගය තුළ ආරක්ෂණ විදුලි සීනු පද්ධති 61 ක් ස්ථාපනය කිරීමටද නියමිතය.

    ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවල වසරකට දළ වශයෙන් අනතරු 75 ක් පමණ සිදුවේ. මුහුදුබඩ මාර්ගයේ පමණක් 2016 වසර තුළ අනතුරු 19 ක් ද, 2017 වසර තුළ අනතුරු 20 ක් ද, 2018 ජූලි මස වන විට අනතුරු 15 ක් ද සිදුවී ඇත. මෙම ව්‍යාපෘතියේ අවසානයත් සමගම දුම්රිය හරස් මාර්ග අනතුරු සංඛ්‍යාව ඉතාමත්ම අවම මට්ටමකට පැමිණෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පල කරයි. එමෙන්ම මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකාවේම දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337 ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526 ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛාව 626 කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරයි.

    ව්‍යාපෘතිය යටතේ හික්කඩුව සිට දොඩන්දූව අතර ඉදිකළ ආරක්ෂිත විදුලී සීනු පද්ධති 10ක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද  (18) දින පෙරවරුවේ දුම්රිය සේවය සඳහා විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya