Print this page

ආයුර්වේද ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

අගෝස්තු 10, 2018

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාව සමග ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ සහ සිටුවීමේ වැඩපිළිවෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී ඊයේ (09) පෙරවරුවේ පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඖෂධ පැළ ලක්ෂයක් බෙදාදීමේ වැඩපිළිවෙල ඉතා වැදගත් වැඩපිළිවෙලක්. ආයුර්වේදයට පළමුව පිළිගැනීමක් ඇති වූයේ එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ යි. බටහිර වෛද්‍ය ක්‍රමයට මෙන්ම සිංහල වෛද්‍ය ක්‍රමයට පිළිගැනීමක් ලැබුනා. ඉන් පසු වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය බාරගැනීමෙන් පසු එය පිළිගැනීමකට ලක් වුනා. ජනතාව අතර කොළ කැද පවා ප්‍රචලිත කළා. ජනතාවට අවබෝධය ලබාදුන්නා. ඉන් පසු වත්මන් රජය යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය නගාසිටුවීම සදහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය විෂය පාඨයන් ඒකාබද්ධ කිරිම තුලින්. මේ වනවිට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආයුර්වේද ක්ෂේත්‍රය ගොඩනැංවීම සදහා අවස්ථා 03 ක දී එකතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාව සමග ආයුර්වේදයට අවශ්‍ය පැළ බෙදාදීම මෙන්ම ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ යුතුයි. ඒ සදහා ඉඩම් ලබාදිය යුතුයි. බටහිර ඖෂධ ආනයනය කිරිම සදහා වාර්ෂිකව වැය කරන ඇමරිකානු ඩොලර් මිලියන 900 ක මුදල ඉතිරිකර ගැනීම සදහා මෙරට දී ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ සදහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙනවා. ආයුර්වේද ඖෂධ ද විදේශීය රටවලින් ආනයනය කිරිම නතර කිරිම සදහා හමුදාව සමග ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කළ යුතුයි. වත්මන් හමුදාපතිවරයා නිර්මාණශීලි පුද්ගලයෙක්. එකතු වී වැඩ කිරිම තුලින් රටට සේවාවක් කළ හැකියි.”

මෙහිදි ප්‍රථම ඖෂධ පැළ ය ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වෙත පිරිනමන ලදි. තව ද විහාර මහා දේවී උද්‍යානයේ ජනාධිපතිවරයා විසින් නා පැළයක් ද රෝපණය කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුලු යුධ හමුදා නිලධාරින්, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.