Print this page

තරුණ පරපුර දේශපාලනඥයින් පිටුපස රැකියා ඉල්ලාගෙන එන යුගය අවසන් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍ය

ජූලි 11, 2018

පරිගණකය නොදත් දරු පරපුරක් අනාගතයට බිහිවෙලා වැඩක් නැහැ. තරුණ පරපුර දේශපාලනඥයින් පිටුපස රැකියා ඉල්ලාගෙන ඒම අපි අවසන් කළ යුතුයි. දරුවන්ට සුදුසු තැන ලබාදිය යුතුයි යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බේරුවල පදාගොඩ මහා විද්‍යාලයේ පරිගණක ඒකකය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (09) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පරිගණක විද්‍යාගාර ගණනාවක් බේරුවල ආසනයේ විද්‍යාලවලට මම ලබාදුන්නා. පාසල්වල අධ්‍යාපනය දියුණු කිරීමේ දී විද්‍යාව සහ තාක්ෂණය දියුණු කළ යුතුයි. වර්තමානයේ පවතින්නේ ලෝකයම විශ්ව ගම්මානයක්. දරුවන්ට ලෝකය සමග සම්බන්ධ වෙන්න පුලුවන්. දරුවන් ඒ සදහා යොමු කිරීමේ අරමුණින් තමයි පරිගණක විද්‍යාගාර බිහි කිරීම ආරම්භ කළේ. තාක්ෂණික අවබෝධයක් ලබාදිය යුතුයි. විද්‍යාව දිනෙන් දින වෙනස් වෙනවා. වෛද්‍ය විද්‍යාවත් එහෙමයි. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මේ වන විට ඇමරිකාව හදුන්වා දී තිබෙනවා. නව වෛද්‍ය උපකරණ බිහි වී තිබෙනවා. ඒවා විවිධ තාක්ෂණයෙන් යුක්තයි. පොත්පත් වලින් කළ දේවල් වර්තමානයේ පරිගණකයෙන් කරනවා. පරිගණකය නොදත් දරු පරපුරක් අනාගතයට බිහිවෙලා වැඩක් නැහැ. තරුණ පරපුර දේශපාලනඥයින් පිටුපස රැකියා ඉල්ලාගෙන ඒම අපි අවසන් කළ යුතුයි. දරුවන්ට සුදුසු තැන ලබාදිය යුතුයි.”
“විද්‍යාව සහ තාක්ෂණය හැදිරිමට දරුවන් යොමු කිරිම ද දෙමාපියන්ගේ වගකීමක්. එහිදී පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළා. එවිට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ටැබ් පරිගණක භාවිතයෙන් හොද මෙන්ම නරක ද දරුවන් පුරුදු වෙන බවයි. ටැබ් පරිගණකය මගින් දරුවන්ට මුලු ලෝකය දැකගන්න පුලුවන්. නරක දේවල් බැලුවොත් මොකද වෙන්නේ යන සංවාදයක් මෙහිදී මතුව තිබෙනවා. එම නිසා තමයි ටැබ් පරිගණකය දෙනවා ද නැති ද කියා සාකච්ඡා කරන්නේ. මෙය වැරදි දේවල්වලට භාවිතා කළොත් මානසික ගැටලු පවා ඇති වෙන්න පුලුවන්”යැයි ද අමාත්‍යවරයා පැවසී ය