Print this page

රටේ අපරාධ පාලනයට මෙහෙයුම් සිදු කරනවා - අමාත්‍ය රාජිත සේනාරත්න

ජූනි 13, 2018

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාසිකව පැවැත්වෙන රැස්වීමේදී රටේ අපරාධ මැඩපැවැත්වීම සඳහා තීරණ ගනු ලබන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රටේ අපාරාධ අඩුවීම සම්බන්ධයෙන් පොලිස් සංඛ්‍යා දත්ත අනුව නිගමනය කළ යුතු බව අද (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පොලිස් මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවත් පසුගිය දින කිහිපය තුළද සිදු කළ විශේෂ මෙහෙයුමකින් විශාල සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.

කුමන තරාතිරමක අයෙකු වෙනුවෙන් වුවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.