Print this page

සමෘද්ධිය නියම සුදුස්සාට ලබා දීමට කටයුතු කරනවා- අමාත්‍ය පී. හැරිසන්

ජූනි 13, 2018

පාට පක්ෂ, ජාති ආගම්, කුල භේදයෙන් තොරව සමෘද්ධිය නියම සුදුස්සාට ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි අවුරුදු එකහමාර තුළ දී ලක්ෂ 5කට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නියඟයෙන් පීඩා විදි ගොවි පවුල් වෙත නියං සහනාධාර බෙදාදීමට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

මෙම වසරේ අගෝස්තු මස වන විට ලක්ෂ 02කට පමණ පිරිසකට ද දෙසැම්බර් මස වන විට තවත් ලක්ෂ 02ක පිරිසකට ද අළුතින් සමෘද්ධිය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා, ඊළඟ අප්‍රේල් මස වන විට තවත් ලක්ෂයක පමණ පිරිසකට අළුතින් සමෘද්ධිය ලබා දෙන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

අවම වශයෙන් එක කොට්ඨාසයක පවුල් 10කට 12කට මේ තුළින් සමෘද්ධිය අළුතින් ලැබෙනවා. සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීගේ නිර්දේශ හරහා ප්‍රදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හරහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට, අමාත්‍යාංශයට අදාළ ඉල්ලුම් පත්‍ර එවන්න කටයුතු කරන්න. අපි පළමු වටේ එතනින් දෙන්නම්. දිය යුතුම පිරිසක් එතන ඉන්නවා. හැබැයි ඊළඟ වට දෙක තුන දෙනකොට අපි අර අතහැරිච්ච පිරිස් වලටත් සමෘද්ධිය දෙන්න ලෑස්ති කරනවා. ඒ නිසා අළුතින් සමෘද්ධි බලාපොරොත්තු වන අයට මම කියන්නෙ ඔබ තුමන්ලාගේ අභියාචනා මම කියපු නිලධාරීන්ට ඉදිරිපත් කරන්න පුවත්පත් මගින් වගේම සමෘද්ධි නිලධාරීන් හරහා අපි කටයුතු කරනවා කියලයි. ඒකෙදි සමෘද්ධිය බලාපොරොත්තු වන අයට තනි තනියෙන් අභියාචනා ඉදිරිපත් කරන්නැයි, ද අමාත්‍යවරයා පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ස්වේච්ඡා සංවිධාන වල තියෙන අදහස් ඉදිරිපත් කරන්න. ආගමික සංවිධානවල අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම මහජන නියෝජිතයින්ට තමන්ගේ උදවිය ගැන තියෙන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. සමෘද්ධි නිලධාරී ඇතුළු මම කියපු අර නිලධාරීන් 4දෙනාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැතිව මම ඇවිල්ලා මේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ඇමතිවරයා කියලා පාට පක්ෂ තෝරලා ඒ අයට සමෘද්ධිය දෙන්න මම ලෑස්ති වුනේ නෑ. ඒ නිසා මේක විනිවිද භාවයෙන් පේන විදියට නියම සුදුස්සන් සමෘද්ධි ලාභීන් විදියට තෝරා ගන්නවා, යැයි අමාත්‍යවරයා පැවසීය