Print this page

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් බෝගයේ කීර්ති නාමය විනාශ කරන්නට එරෙහිව විමර්ශන

ජූනි 13, 2018

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් බෝගයේ කීර්ති නාමය විනාශ කරමින් විදේශ ගම්මිරිස් ඊට කළවම් කරන ජාවාරමක් ගැන විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෝකයේ හොඳම ගම්මිරිස් ලෙස සැළකෙන අතර අපේ ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතී.

නමුත් කිසියම් ජාවාරම්කරුවන් පිරිසක් අප රටේ ගම්මිරිස් අපනයනය කිරීමේදී, තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී නැවේ දී ම කවළම් කරන ජාවාරමක් ගැන කරුණු හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඊයේ (12) පස්වරුවේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග අමාත්‍යවරයා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය පිණිස ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. මෙහිදී සහභාගි වු නියෝජිත පිරිස ගම්මිරිස් ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සම්බන්ධයෙන් පවතින කීර්තිනාමය විනාශ කිරීමේ ජාවාරමක් පිළිබඳ කරුණු හෙළිදරව් වී ඇති අතර එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු රජය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පවරන ලද බවයි.

මෙම සාකච්ඡාවේදී ගොවි ගැටළු රැසක් පිළිබඳ අවධානය යොමු විය. ඒ අතර ජල ප්‍රශ්නය, පොහොර බෙදාහැරීම් කටයුතු විදිමත් කිරීම, ගොවි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීම , අස්වනු නෙළා ගන්නා කාලයේදී එම නිෂ්පාදන ආනයනය කිරීම නතර කිරීම, නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම‍, පාංශු පර්යේෂණ සඳහා විදිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැනි සාධනීය කරුණු රැසක් සමස්ත ලංකා ගොවි සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඊට විසඳුම් ලබා දීම හා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා සියලු සහාය ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.