Print this page

"අතීතය සුවපත් කිරීම තුළින් අනාගතය ගොඩනගමු" දෙවන අදියර ඇරඹේ

ජූනි 12, 2018
ජාතික සමගි සන්ධාන වැඩසටහන් බිම් මට්ටමින්ම ක්‍රියාත්මක කිරීම  ප්‍රධාන අරමුණ කරගත්  “අතීතය සුවපත් කිරීම තුළින් අනාගතය ගොඩනගමු’’ ව්‍යාපෘතියේ දෙවන අදියර දිස්ත්‍රික්ක 14ක් තුළ  ක්‍රියාත්මක කිරීමට ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව මෙම වැඩසටහනෙහි දෙවන අදියර අම්පාර, මඩකලපුව, ගාල්ල, කළුතර, කිලිනොච්චිය, කුරුණෑගල, මන්නාරම, මාතර, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක කෙරේ.
 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ  අරමුණු අතර, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරින් හා සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් ඇති කිරීම, සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා සමගි සන්ධානය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාවට නැංවීම, දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජාව තුළින් නිර්මාණය වන සමගි සන්ධාන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම හා ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන හා සිවිල් සමාජ සංවිධාන අතර සහයෝගීතාවයන් වර්ධනය කිරීම යන අරමුණු වේ .
 
ජාතික මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා සිවිල් සමාජ සංවිධාන 20ක් ද තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ දායකත්වය අඛණ්ඩව ලබාගැනීමට සැලසුම් කර ඇත.
 
මෙම ව්‍යාපෘතියේ  පළමු  අදියර  යාපනය, අනුරාධපුරය, රත්නපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති අතර එම නියමු වැඩසටහන තුළින් ලබාගත් අත්දැකීම් සමාජීය බලපෑම් සහ ඒ තුළින් උගත් පාඩම් යොදා ගනිමින් මෙහි දෙවන අදියර ඉහත සඳහන් දිස්ත්‍රික්ක 3 ඇතුළුව දිස්ත්‍රික්ක 17ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.