Print this page

ග්‍රාම නිලධාරී බඳවා ගැනීම ඉදිරි සති කිහිපයේ දී සම්පූර්ණ කරනවා- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

මැයි 16, 2018

ශ්‍රී ලංකාව පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි සති කිහිපයේ දී අවසන්වීමට පෙර සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

 

ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් අතුරින් වසම් 2,000ට ආසන්න ප්‍රමාණයක මේ වනවිට ග්‍රාම නිලධාරී ධූර පුරප්පාඩු වී ඇති බැවින් ආසන්න වසම්වල නිලධාරීන් රාජකාරී කටයුතු ආවරණය කරයි. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 සැප්තැම්බර් මස 09 වැනි දින තරඟ විභාගයක් පැවැත්වුණු අතර එහි දී සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් සම්පූර්ණකර 3568 දෙනකුගේ ප්‍රතිඵල 2017 ජූලි මස 26 වැනි දින නිකුත් කරන ලදී.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී අදාල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි. එම සම්මුඛ පරීක්ෂණ 2017 ඔක්තෝබර් මස 23 වැනි දින සිට නොවැම්බර් 21 වැනි දින දක්වා පැවැති අතර ඒවායේ ලකුණු නැවත 2018 පෙබරවාරි මස 16 වැනි දින විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

විභාග දෙපාර්තමේන්තුව විසින් ලිඛිත පරීක්ෂණයේ ලකුණු හා සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතුකර සුදුසුකම් සම්පූර්ණ කළ 1739 දෙනකුගේ තොරතුරු මාර්තු මස 23 වැනි දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී ඇති අතර අදාල පුරප්පාඩු පිරවීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලබාදීමේ කටයුතු මේ වනවිටත් අවසන් කරමින් පවතී.

ග්‍රාම නිලධාරී තනතුරට අයදුම් කරන ලද වැඩි පිරිසක් කාන්තාවන් බැවින් පත්කිරීමේ දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය සියයට 50ට 50 වශයෙන් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය ද අමාත්‍ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළ බැවින් ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව සුදුසුකම් සම්පූර්ණ කිරීම අනුව බඳවා ගැනීමට තීරණය කර ඇත. කාන්තාවන් වැඩිපුර බඳවාගැනීමට සිදුවීමෙන් බඳවාගැනීම් ප්‍රමාද වන්නේ යැයි අතැමුන් ප්‍රචාරය කිරීම අසත්‍ය කරුණකි.

ඒ අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා නව නිලධාරී නිලධාරිනියන්ට පත්වීම් ලබාදීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදුකිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.